You are currently viewing ජාතික ව්‍යසන කළමනාකරණයේ දී විධායක ජනාධිපති ක්‍රමයේ ඇති සීමාවන්..

ජාතික ව්‍යසන කළමනාකරණයේ දී විධායක ජනාධිපති ක්‍රමයේ ඇති සීමාවන්..

2019 වසරේ සිට ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ පරිමාණයේ ප්‍රධාන ජාතික අර්බුද තුනකට මුහුණ දී ඇත: එනම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර, කොවිඩ්-19 වසංගතය සහ දැන් දිට්වා සුළි කුණාටුවයි. මෙම සිදුවීම්වලින් ආරක්ෂක, මහජන සෞඛ්‍ය සහ ආපදා කළමනාකරණය යනුවෙන් විවිධ අභියෝග එල්ල කළද, ඒ සියල්ල පොදු ආයතනික ලක්ෂණයක් පෙන්නුම් කරයි. එනම්, ඒවා විධායක ජනාධිපති ධුරයේ රාමුව යටතේ ක්‍රියාත්මක වීමයි.. මෙම අර්බුද හැසිරවූ ආකාරය පිළිබඳව සමීපව විමසා බැලීමෙන් නැවත නැවතත් සිදුවන ව්‍යුහාත්මක දුර්වලතාවක් හෙළි වේ.

විධායක ජනාධිපති ධුරය, බලය සහ වගකීම තනි පුද්ගලයෙකු තුළ කේන්ද්‍රගත කිරීම නිසා, මෙවැනි මහා පරිමාණයේ ඛේදවාචක ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය මෙහෙයුම් හැකියාවන් නැත. මෙය තනි ජනාධිපතිවරයකුගේ හැකියාව පිළිබිඹු කිරීමක් නොව, ආයතනික ස්වාධීනත්වය, වෘත්තීයභාවය සහ සාමූහික තීරණ ගැනීම් යටපත් කරමින්, එක් පුද්ගලයෙක් මත අධික බරක් පටවන පාලන ක්‍රමයක ප්‍රතිඵලයකි.

කාලයත් සමඟ, විධායක ජනාධිපති ධුරයෙන් ස්වයංක්‍රීයව ඉදිරිපත් වී කටයුතු කිරීම අධෛර්යමත් කරන සහ වගකීම ඉහළට පවරන ක්‍රමයක් පෝෂණය කර ඇත.  විශ්වාසනීය බුද්ධි තොරතුරු නිලධාරීන්, සතුව තිබුණද, ඔවුහු දේශපාලන ප්‍රතිවිපාක හෝ බලය ඉක්මවා යාමේ චෝදනාවලට බියෙන් ස්වාධීනව ක්‍රියා කිරීමට පසුබට වෙති. මෙය සාමාන්‍ය තත්වයන් යටතේ පහළ මට්ටමෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ තත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්වයකි.

සිය බල ප්‍රදේශය තුළ අපරාධයක් සිදුවීමට ආසන්න තත්වයක් පිළිබඳ විශ්වාසනීය තොරතුරු ලැබෙන පොලිස් ස්ථානාධිපතිවරයෙකු ඉහළින් උපදෙස් බලාපොරොත්තුවෙන් නොසිට; වහාම ක්‍රියාත්මක වේ. උත්ප්‍රාසය නම්, ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණාවලදී තීරණාත්මක ලෙස ක්‍රියා කිරීමට නීතිය මගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට බලය ලබා දී ඇතත්, අධික ලෙස කේන්ද්‍රගත කිරීමෙන් නිර්මාණය වූ පාලන සංස්කෘතිය ඔවුන් අකර්මණ්‍ය කර තිබීමයි.

විවිධ ආයතනවලින් ගලා එන සංකීර්ණ සහ කාලීන වැදගත්කමක් ඇති බුද්ධි තොරතුරු සැකසීම, ඇගයීම සහ ඒ අනුව ක්‍රියා කිරීම, කෙතරම් බලසම්පන්න වුවද කිසිදු තනි පුද්ගලයෙකුට තනිව කළ නොහැකි බව පාස්කු ඉරිදා ඛේදවාචකය මගින් පෙන්නුම් කෙරිණි. ඵලදායී ත්‍රස්ත මර්දනයක් සඳහා විමධ්‍යගත තිරස් සම්බන්ධීකරණයක් සහ වෘත්තීය විශ්වාසයක් අත්‍යවශ්‍ය වේ. එක් විධායක අධිකාරියක් මත පමණට වඩා යැපෙන පාලන ආකෘතියක් හා මෙම ලක්ෂණය නොගැලපේ.

කොවිඩ්-19 වසංගතය, මීට හාත්පසින්ම වෙනස් එහෙත් සමාන වැදගත්කමකින් යුත් පාඩමක් අපට කියා දෙයි. මෙම අර්බුදයේ මහජන සෞඛ්‍ය පැතිකඩ කළමනාකරණය කරගැනීමේදී ශ්‍රී ලංකාව ලැබූ සාපේක්ෂ සාර්ථකත්වයට හේතුවූයේ ශක්තිමත් විධායක නායකත්වයක් නොව, රටේ මහජන සෞඛ්‍ය පද්ධතිය සතු ඔරොත්තු දීමේ හැකියාව සහ වෘත්තීයභාවයයි. වෛද්‍ය නිලධාරීන්, වසංගත රෝග විද්‍යාඥයින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අරමුණ පිළිබඳ පැහැදිලි අවබෝධයකින්, විද්‍යාත්මක හික්මීමකින් සහ ස්වාධීනත්වයකින් යුතුව කටයුතු කළහ. ඔවුහු දේශපාලන මැදිහත්වීම්වලින් බොහෝ දුරට ස්වාධීනව විමර්ශනය කිරීම්, ඇසුරු කළ අය සොයා යාම, නිරෝධායනය සහ එන්නත්කරණ උපාය මාර්ග ක්‍රියාත්මක කළහ.

විශේෂයෙන්ම, එකල සිටි රාජ්‍ය නායකයා අත්දැකීම් අඩු අයෙකු ලෙසත්, ඇතැම් අවස්ථාවල රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ප්‍රමාණවත් හැකියාවක් නොමැති අයෙකු ලෙසත් පුළුල් පිළිගැනීමක් තිබුණි. එසේ වුවද, විධායක ජනාධිපති ධුරය මෙහෙයුම් තීරණ ගැනීමේදී කේන්ද්‍රීය නොවීම යන නිශ්චිත හේතුව නිසා වසංගත කළමනාකරණයට එය අහිතකර ලෙස බලනොපෑවේය. මෙම අර්බුදය ඵලදායී ලෙස කළමනාකරණය කරනු ලැබුවේ ඉහළ සිට පහළට පාලනය කිරීමෙන් නොව, පහළ මට්ටමෙන් සහ ආයතන අතර සම්බන්ධීකරණය හරහා ය.

කෙසේ වෙතත්, විධායකය මූලික කරගත් පද්ධතියක් තුළ වෘත්තීය ස්වාධීනත්වයේ සීමාවන් ද මෙම වසංගතය මගින් අනාවරණය විය. “ධම්මික පැණිය” වැනි ව්‍යාජ පිළියම් ප්‍රවර්ධනය කිරීම සහ ගංගාවලට මුට්ටි දැමීම වැනි සංකේතමය ක්‍රියාවන් මගින්, දේශපාලන මැදිහත්වීම්වලට එම තත්වය යටපත් කළ හැකි අයුරු පෙන්නුම් කෙරිණි. මෙම ක්‍රියාවන් මගින් සමස්ත වසංගත ප්‍රතිචාරය අඩපණ නොවීම වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය පිළිබඳ මනා සාක්ෂියකි. ආණ්ඩුවේ ප්‍රතිචාරයේ ප්‍රබලම අසාර්ථකත්වය සහ කළු පැල්ලම වූ කොවිඩ්-19 මරණ බලහත්කාරයෙන් ආදාහනය කිරීම තුළින්, විධායක බලය හමුවේ ආයතන සතු දුර්වල ස්වභාවය ඉස්මතු වීමය. භූමදානය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු දේශීය සහ ගෝලීය විශේෂඥයින්ගේ එකඟතාව හිමිව තිබියදීත්, දේශපාලන නියෝග අභිබවා යාමට සෞඛ්‍ය වෘත්තිකයන්ට නොහැකි විය. විධායක ජනාධිපති ධුරයක් යටතේ මධ්‍යගත අධිකාරියකට විශේෂඥ දැනුම මත පදනම් වූ පද්ධති පවා යටපත් කළ හැකි ආකාරය මෙම සිදුවීමෙන් අවධාරණය කෙරේ.

මහා පරිමාණ ආපදා හැසිරවීම සඳහා විධායක ජනාධිපති ධුරය ව්‍යුහාත්මකවම නොගැලපෙන බව “දිට්වා” සුළි කුණාටුව මගින් තවදුරටත් තහවුරු කරයි. වගවීම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විපක්ෂය එකිනෙකාට චෝදනා කරගන්නා අතර, මෙහි ප්‍රධානතම ගැටලුව ලෙස පවතින්නේ ආපදාවේ බලපෑම කල්තියා හඳුනා ගැනීම සහ ආපදාව අවම කිරීමට අසමත් වීමයි. පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, ආපදා පෙර සූදානම, ඉවත් කිරීමේ සැලසුම් සහ ආයතන අතර නිරන්තර සම්බන්ධීකරණය සඳහා අවධානය යොමු කිරිම විමධ්‍යගත තීරණ ගැනීම අත්‍යවශ්‍ය වේ. (විධායක ජනාධිපති ක්‍රමය යටතේ සිදු වන ආකාරයට) තනි පුද්ගලයෙකු මත අමාත්‍යංශ කිහිපයක වගකීම් පැටවී ඇත්නම්, ඔහුගේ දක්ෂතාවය කුමක් වුවත්, මෙම කාර්යයන් ඔහුට තනිවම ඵලදායී ලෙස කළමනාකරණය කළ නොහැක.

මෙහි ඇති ගැටලුව එම ධුරය හොබවන පුද්ගලයා නොව, අධිකාරී බලය සහ සියල්ල දත් බව කැටි කර ගත් ක්‍රමවේදය තුළ ය. ආපදා කළමනාකරණය යනු ස්වභාවයෙන්ම බහුවිධ ක්ෂේත්‍රයන් හා බැඳුණු කාර්යයක් වන අතර, ඒ සඳහා කාලගුණ විද්‍යා සේවා, පළාත් පාලන ආයතන, හමුදා ඒකක, සෞඛ්‍ය සේවා සහ ප්‍රජා සංවිධාන අතර මනා සම්බන්ධීකරණයක් අත්‍යවශ්‍ය වේ. මෙවැනි සංකීර්ණ කාර්යයන් සඳහා වඩාත් උචිත වන්නේ වගකීමට බැඳී සිටින අමාත්‍යවරුන් සහ වෘත්තීය ආයතන අතර බලය හා වගකීම් බෙදා වෙන් කරන කැබිනට් මණ්ඩලයක් මත පදනම් වූ පද්ධතියකි,.

සංකීර්ණ අර්බුද කළමනාකරණය කිරීමේදී සාමූහික තීරණ ගැනීමේ වැදගත්කම, නූතන රාජ්‍ය පාලන තන්ත්‍ර සහ ගෝලීය අත්දැකීම් මගින් ඉතා පැහැදිලිව තහවුරු කර ඇත. කැබිනට් මණ්ඩලයකින් කරුණු පුළුල්ව සාකච්ඡා කිරීමට ඉඩ සලසන අතර, වගකීම් බෙදාහැරීම තුළින් තනි පුද්ගලයෙකු ගන්නා වැරදි විනිශ්චයන් හෝ අධික කාර්ය භාරය හේතුවෙන් ඇතිවිය හැකි මහා පරිමාණයේ අසාර්ථකත්වයන් අවම කරනු ලබයි. එමෙන්ම ඉන්, තනි විධායක අධිකාරියක පෞද්ගලික අනුමැතිය ලැබෙන තෙක් බලා නොසිට, පැහැදිලිව නිර්වචනය කරන ලද විෂය පථයන් තුළ ස්වාධීනව ක්‍රියාත්මක වීමට ආයතන වෙත බලය පැවරේ.

කැබිනට් ආණ්ඩු ක්‍රමයක් යටතේ, අමාත්‍යවරුන් තමන්ට අයත් විෂය පථයන් සම්බන්ධයෙන් දේශපාලනිකව වගකියනු ලබන අතර, වෘත්තීය රාජ්‍ය යාන්ත්‍රණයට තම මෙහෙයුම් කටයුතු ස්වාධීනව කිරීමට අවස්ථාව ලැබේ. මෙම ව්‍යුහය මගින් කාර්යක්ෂමතාව ඉහළ නංවනවා පමණක් නොව, ආයතනික ව්‍යුහය සහ ඔරොත්තු දීමේ හැකියාව ද ගොඩනගයි. සමස්ත පද්ධතියම අස්ථාවර කිරීමකින් තොරව අසාර්ථකත්වයන් හඳුනා ගැනීමටත්, ඒවා නිවැරදි කිරීමටත් සහ ඒ තුළින් පාඩම් ඉගෙන ගැනීමටත් මෙමගින් හැකියාව ලැබේ.  

ඊට ප්‍රතිවිරුද්ධව, විධායක ජනාධිපති ක්‍රමය තුළ බලය මෙන්ම දෝෂාරෝපණය ද එක පුද්ගලයෙකුට වෙත කේන්ද්‍රගත වේ. අර්බුදයක් ඇති වූ විට, වගකීම එකවරම කේන්ද්‍රගත වීම සහ විසිරී යාම සිදුවන බැවින් වගවීම පිළිබඳ පැහැදිලි බව බොඳ වී යයි. මෙවිට රාජ්‍ය ආයතන ස්වාධීනව ක්‍රියා කිරීමට පසුබට වන අතරම, විධායකයට සෑම කුඩා මෙහෙයුම් කටයුත්තක්ම යථාර්ථවාදීව කළමනාකරණය කිරීමට ද නොහැකි වේ. මෙම ප්‍රතිවිරුද්ධ තත්වය නිසා ශ්‍රී ලංකාවට නැවත නැවතත් බරපතල වන්දියක් ගෙවීමට සිදුව ඇත.

රාජ්‍ය පාලනය ප්‍රතිසංස්කරණය කිරීම යනු නායකත්වය දුර්වල කිරීමක් නොව, ආයතන ශක්තිමත් කිරීමකි. ශක්තිමත් කැබිනට් මණ්ඩල ක්‍රමයක් මත පදනම් වූ සාමූහික පාලනයක් වෙත යොමුවීම, සංකීර්ණ නූතන රාජ්‍යයක් තුළ අර්බුද කළමනාකරණය සඳහා වඩාත් යථාර්ථවාදී, ප්‍රජාතන්ත්‍රවාදී සහ ඵලදායී රාමුවක් සපයයි. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයෙන් එක් නිගමනයක් අනිවාර්ය කරයි: එනම්, කෙතරම් බලසම්පන්න වුවත්, කිසිදු තනි පුද්ගලයෙකුට, බෙදා වෙන් කළ වගකීම් සහ වෘත්තීය ස්වාධීනත්වය සහිත මනාව ක්‍රියාත්මක වන පද්ධතියක් ආදේශ කළ නොහැකි බවයි.

Leave a Reply