1948 ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදුන දවසේ සිට 2024 දක්වා අවුරුදු 76ක් ගෙවී අවසන් ය. මේ අවුරුදු 76 තුළ ගෙවී ගිය දේශපාලන, ආර්ථික හා සමාජීය පසුබිම ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසපෙ) හැඳින්වූයේ අවුරුදු 76ක සාපය නමිනි. අවුරුදු 76ක් තුළ ලංකාව පාලනය කලා වූ සමාජය සාපයකින් පෙළනු බව පවසමින් එම සාපය අවසන් කිරීමට ව්‍යවස්ථානුකූල බලයක් ජවිපෙ ප්රමුඛ ජාතික ජන බලවේගය (ජාජබ) මේ වසරේ දී (2024දී) පැවති ඡන්දවලදී ඉල්ලුවේ ය. එයට ජනාධිපතිවරයා ඇතුළුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වඩා බලයක් ජනතාව ලබා දුන්නේ එම බලාපොරොත්තුව ජනතාවගේ ද බලාපොරෙත්තුවක් බවට පත් වී තිබූ බැවිනි. 1978 සිට නව ලිබරල් ආර්ථික රටාවෙන් (විවෘත ආර්ථිකයෙන්) 2022දී රට ආර්ථික අගාධයට වැටී තිබු මොහොතේ සිට මේ සාප මතවාදය ගොඩ නගන්නට ජවිපෙ හා පෙසපෙ වෙහෙසුනි. නමුත් අවුරුදු 76ක සාපයෙන් මිදීම සඳහා ජවිපෙ ඉදිරිපත් කළ වැඩ පිළිවෙල වූයේ “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන වියුක්ත ප්රතිපත්තියකි. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ගොඩනගන්නට ජනාධිපතිවරණය ජය ගෙන දින 57ක කාලයක් අවසන් වී තිබුණත් දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ සමාජීය ප්‍රශ්න එලෙසම පවතිද්දී ඔවුන් පුද්ගලයන් ලෙස ගොඩ නගා ගත් විකෘති පෞද්ගලිකත්වය හෙළිදරව් වෙමින් තිබේ. එම නිසා දිනෙන් දින අපහාසයටත්, උපහාසයටත් විවේචනයටත් ඔවුන් ලක්වෙමින් සිටින්නේ ය. දැන් එම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට තනතුරු වලින් ඉල්ලා අස්වෙමින් සහ පවතින නීති රාමුව තුළට පැමිණිලි කරමින් තම පෞද්ගලිකත්වය රැක ගැනීම වෙනුවෙන් බරපතල වෙහෙසක් ගනිමින් සිටිති. මේ එක් එක් පුද්ගලයන් හරහා ගොඩනගාගත් පෞද්ගලිකත්වය පෞද්ගලිකවාදයක් දක්වා ගමන් කළේ කෙසේ ද යන්න විමසා බැලීම වැදගත් ය.
මොවුන් අවුරුදු 76ක සාපය යනුවෙන් නාමකරණය තුළ ජවිපෙ විසින් 1971දී හා 1988-89 කැරලි මගින් සිදු වූ විපත්තිය ගැන කිසිදු නිර්වචනයක් නොමැතිව එහි සිටි නායකයන්ට විප්ලවවාදී ආචාරය පුද කරමින් සමරමින් සිටියි. එම ආයුධ සන්නද්ධ ව්‍යාපාරයේ ජන විඥානය තුළ ඇති වූ භීතිය හෝ ජන විඥානයට ආයුධ සන්නද්ධ අධිකාරි බලයකින් ඇතිකළ විනාශයෙන් සිදු වූ වරද වත්මනේ ද ඔවුන් පිළිගන්නේ නැත. මිය ගිය නායකයන්ව සැමරීම මගින් මේ අවුරුදු 76ක සාපයට එම කැරලි දෙක අයත් නැති බව ජනතාව පිළිගත යුතු ය. ඒ වගේම සන්නධ කැරලි මාවතෙන් වෙනස්ව ධනේශ්වර සභාගවාදී පාර්ලිමේන්තු සම්ප්රායට ප්‍රවිෂ්ට වූයේ 1994න් පසුව ය. එහි ගමන් මග විවිධ ධනේශ්වර පෙරමුණු වගේම ධනේශ්වර නායකයන් බලයට ගෙන ඒම වගේම ජාතිවාදය මෙන්ම යුදවාදය ද පෙරටු කරගෙන ධනේශ්වර මානසිකත්වයෙන් රට ගොඩනැගිය හැකිය යන ස්ථාවරය පිළිගත්තේ ය. එම ප්‍රතිපත්තියෙන් යාමට නොහැකි වූ විට ජවිපෙ ස්ථාවරය වෙනස් කොට ජවිපෙ ප්රමුඛත්වයෙන් ජාතික ජන බලවේගය නමින් පෞද්ගලිකත්වය කේන්ද්‍ර කර ගත් පුද්ගලයන්ට එම සංවිධානයට ඇතුල් වීමට අවස්ථාව ලබා දුන්නේ ය.
අවුරුදු 76ක සාපය ඔවුන්ගේ විග්‍රහයෙන් දෘෂ්ටිම වරදක් පිළිඹිබු වන්නේ ය. ඒ 1948 සිට 1978 දක්වා කාලය තුළ මේ රටේ වමේ ව්‍යාපාරය විසින් ධනවාදී සමාජ ක්රමයේ පැවතුන පෞද්ගලිකවාදයට විරුද්ධව සමාජවාදය (සමාජය පිළිබඳ වාදය = සමාජය + වාදය) යන සාමාජීය පරිකල්පනවාදය ස්ථාපිත කළේ ය. ඒ පංති අරගලය මූලික කරගත් සමාජ සංවිධාන ව්‍යුහය මගින් සමාජීය පරිකල්පනයක් ස්ථාපිත කිරීමට ය. ඒ හරහා ගොඩනැගුණු පංති අරගලය ව්‍යුහයට සම්බන්ධ නායකයන් විශාල ප්‍රමාණයක් ඒ කාලයේ ප්‍රසිද්ධියට පත්වී සිටියේ ය. ඔවුන්ගේ පරිකල්පනය තුළින් සමාජ ප්රපංචය විධිමත් කිරීමට වෙහෙසුනේ ය. ඒ හරහා සමාජ ප්රපංචය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට ඥානාන්විත ක්‍රියාමාර්ග රාශියක් ගත්තේ ය. ඒවා අතරින් පොදු ප්‍රවාහන සේවය ඇති කිරීම, නිදහස් සෞඛ්‍ය සේවය ඇති කිරීම, නිදහස් අධ්‍යාපනය ඇති කිරීම වැනි තවත් සමාජීය ප්රවිෂ්ඨයන් විශාල ප්‍රමාණයක් සටහන් කළ හැකි ය. එම ක්‍රියාදාමය 1978 දක්වා පැවතියේ ය.
නමුත් 1978දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති විසින් ඇති කළ නව ලිබරල් ආර්ථිකය (විවෘත ආර්ථිකය) පැවති සමාජමය පරිකල්පනීය ව්‍යුහය වෙනුවට, ධනේශ්වර පෞද්ගලිකවාදය ස්ථාපිත කළේ ය. එම සමාජ දැක්මට විරුද්ධව විවිධ ජන නැගිටීම් 1980 සිට විශාල ප්‍රමාණයක් සිදුවුවත් 2022දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව එලවා දැමීම දක්වා විහිදී ගියේ ය. ගෝඨාභය එළවා දැමීම සිදුවූයේ විකෘති දේශපාලන, ආර්ථික හා සමාජ වැඩ පිළිවෙලට පැවති ක්‍රම විරෝධය ඉස්මත්තට පැමිණීම තුළිනි. එම ක්‍රම විරෝධය ජවිපෙ ප්රමුඛ ජාජබ සහ පෙසපෙ ගොඩ නැගුවේ “අවුරුදු 76ක සාපය” නැමති තාර්කික විවරණයක් නොමැති අර්ථකතනයක් උපයෝගී කර ගණිමින් ධනේශ්වරය හා බද්ධ වීමේ පරමාර්ථය මත ය.
මේ පාවිච්චි කළ තර්ක භාවිතය 1994 සිට පාර්ලිමේන්තුවාදය මගින් ධනේශ්වරයට ඇතුල් වීම සිට දිගටම පවත්වාගෙන ආවේ ය. 1995 පසුව ඩිජිටල්කරණය නැමති ආභාෂයෙන් ඇති වූ මාධ්‍ය භාවිතාව හරහා මෙම විවේචනවාදී (criticism) තර්ක භාවිතය මාධ්‍ය හරහා බලවත් වූයේ ය. මාධ්‍ය භාවිතය විසින් විවිධත්වයක් සහිත අදහස් ව්‍යාප්තිකරණය කළේ බුද්ධිමය පරිචයක් හිමි, බුද්ධිමය නාමකරණ සහතික හිමි පෞද්ගලික බුද්ධි පරිචය මූලික කරගත් පිරිස මූලික කරගෙන ය. මාධ්‍ය විසින් ගොඩ නැගූ ජනප්‍රියවාදය භාවිතා කළ බුද්ධිමතුන්ගේ ආනුභාවයෙන් බැබලීම සමාජ සම්මුතියක් දක්වා ගමන් කළේ පෞද්ගලිකත්වය ආභරණයක් ලෙස ස්ථාවර වෙමින් ය. එහි ප්‍රතිඵලය වූයේ මාධ්‍ය භාවිතාවට උචිත දේශපාලන භාවිතයකුත් මාධ්‍ය හරහා ස්ථාපිත විය. එම විවාදවල මැදිහත් වීමට නාමකරණයන් පෞද්ගලිකව ලබා ගැනීම වේගවත් වූයේ, මාධ්‍ය භාවිතාවෙන් ලැබෙන ජනප්‍රියත්වය උපයෝගී කරගෙන පෞද්ගලික ජනප්‍රියත්වයක් ලබා ගැනීමට ය. එහිදී විවිධ සහතික ලත් බුද්ධිමය පරිචය හිමි පිරිස් සමාජ ක්‍රියාවන්ට සම්බන්ධ වූයේ මාධ්‍ය ජනප්‍රියත්වයට සුදුස්සෙක් ලෙස පෙනී සිටීමට ය. සමාජ ප්‍රශ්න පරිචයන් ගැන වාචික අභිනය මගින් පෙනී සිටියත් සමාජ සංවිධාන ස්වරූපයකින් පෙනී සිටීම නොකළේ ය. නමුත් ඔවුන් සමාජ ප්‍රශ්න ඉතිරි කර පෞද්ගලික ජනප්‍රියත්වය ලබාගැනීම සඳහා වෙහෙසීම කළේ ය. වර්තමානයේදී ද එවැනි පිරිස් හඳුනා ගත හැකි ය.
මේ මාධ්‍ය ජනප්‍රියවාදය දේශපාලන පොර පිටියට ද පැමිණියේ ය. එහිදී ප්‍රමුඛත්වය ලැබුණේ දේශපාලන විවාදවලට සහ මාධ්‍යවේදී කණ්ඩායම් මගින් දේශපාලනඥයාව විවේචනවාදී සහ සම්මුතිවාදී ස්ථාවරයක සිට විකාශනය කළ වැඩසටහන් වලට ය. එම විවාද වල මාතෘකා සමාජය තුළ ඇතිවන සිද්ධිවාචික ප්රස්තූතයන්ගෙන් සමන්විත වූයේ ය. එම විවාදවලදී තර්ක භාවිත ස්වරූපය වූයේ ලෝකය රවුම් ද, පැතලි ද යන විවාදිත ප්‍රස්තූතයි. එවැනි විවාද තර්ක ශාස්ත්‍රීය පුහුණු වීම සඳහා භාවිතා කරන අය අත පවත්වන විවාදයන්හිදී ද තම විරුද්ධ පාර්ශවයේ තර්ක විඝටනය කිරීම තුළින් වාචික අභිනය ප්රමුඛත්වයට ගෙන ජයග්‍රහණය ලබා ගන්නේ ය. එම විවාදිත අනුරුව අනුව ලෝකය පැතලි ද හෝ රවුම් ද යන භෞතික දැක්ම හෝ පැවැත්ම අදාල නැත. තර්කය පමණක් අදාල වන්නේ ය. එවිට දේශපාලන විවාදයන් වලදී තර්ක ගොඩනගන්නේ විරුද්ධාභාසය යන දේශපාලන ප්‍රතිරූපය ප්‍රේක්ෂක මනස තුළ ජයග්‍රාහී මානසිකත්වයක් ඇති කිරීම සඳහා ය. එවැනි දෘෂ්ටිවාදයක් විවේචනවාදය යනුවෙන් හඳුනා ගනී.
මෙවැනි වාද විධික්රමයක් පුරාණ ග්‍රීක දර්ශනවාදය තුළ ද හමුවන්නේ සේනෝ (ක්‍රි: පූ: 495-430) නැමති දාර්ශනිකයාගේ දර්ශනයෙනි. යම් බීජ ඇටයක් බිම වැටෙන්නට සැලැස්වුවහොත්, එය බිම පතිත වූ විට ශබ්දයක් නගන්නේ නැත. එහෙත් බීජ ඇට බුසලක් බිම වැටෙන්නට සැලැස්වුවහොත් එවිට විශාල ශබ්දයක් නගයි. වරක් කිසිම හඬක් නොනැගූ බීජය දෙවැනිවර විශාල හඬක් නගන්නේ කෙසේ ද? පළමු ව කිසිවක් නොඇසුනේ නම්, ඒ ශූන්‍යත්වයයි. දෙවැනි වර ශූන්‍යය වන්නේ ශබ්දයෙනි. හඬ අතින් ශූන්‍ය කොට ඇති බීජය දෙවැනි වර කිසිම හඩක් නැගීම කොහෙත්ම පිළිගත නොහැකි යැයි සේනෝ තර්ක කරයි. මේ තර්ක විධික්රමය විරුද්ධාභාසය (paradox) යනුවෙන් හඳුන්වා දුන්නේ ඇරිස්ටෝටල් ය (ක්‍රි: පූ: 384-322). මෙය බැලූ බැල්මට හාස්‍යජනක මෙන් පෙනුන ද තාර්කික පදනමින් බිඳලිය නොහැකි පැත්තක් ඔහු මතු කරයි.
මේ තර්ක ක්‍රමය විවේචනවාදීව භාවිතා කරමින් මෙවුන් අවුරුදු 76ක සාපය නැමති ප්රශ්තූතය පාවිච්චි කරමින් සමස්තය ම විවේචනයට ලක් කළේ ය. 1948 පෙර පැවති තත්වය යටත්විජිත යුගය වසන් කරමින් සහ 2024 පසුව උදාවන පුනරුද යුගයක් ගැන උද්දීපනයක් ඇති කරමිණ් ය. එම මතවාදය ගෙන ගියේ “ගහෙන් වැටුණු මිනිසෙකු මිය ගියේ ආණ්ඩුවේ වරදින් ය” යන විවේචනවාදී ප්‍රශ්තූත උපායිකව පාවිච්චි කරමිනි. එවිට ආණ්ඩුව ගත් සියළු ක්‍රියාදාමයන්වලට විරුද්ධව කරන විවේචන හරහා ස්ථාපිත වූයේ වාචික අභිනයක් පමණි. එවිට සමාජීය ප්‍රශ්නවලට විසඳුමත් එවැනි තර්ක අභිනයක් මගින් “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන ප්රස්තූතය මගින් උද්දීපනය කරමින් දැවැන්ත ප්‍රචාරයක් දියත් කළේ ය. මේ ක්‍රියාවලිය තුළ සෑම මොහොතකම පැවතියේ අවස්ථාවදී ලෙස ඒ මොහොත ජන විඥානය තුළ උද්දීපනය කර බලය ලබා ගැනීම ය. එමගින් 2024දී බලයට පත්වීම මගින් විවේචනවාදය සහ අවස්ථාවාදය නැමති පෞද්ගලිකත්වය වටා ගොඩ නැගුණු ජාජබ ප්‍රතිපත්ති හෝ පෞද්ගලිකත්වය දින 57ක් යන විට නරුමත්වයක් සහිතව අවසානයක් සනිටුහන් කර ඇත.
මේ ගැන උදාහරණ කීපයකින් පැහැදිලි කර ගත හැකි ය. අසෝක රංවල නැමැත්තා (ඔහු පවසන විදිහට) තම ආචාර්ය උපාධිය ලබාගත්තේ 2005 වසරේ ජපානයේ වසේදා නැමති පෞද්ගලික විශ්ව විද්‍යාලයෙනි. නමුත් ඔහු 2019 සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයට විරුද්ධ අරගලයේදී ප්‍රධාන ක්‍රියාකරුවෙක් ලෙස තම පෞද්ගලික නාමය පාවිච්චි කර තිබුණේ මහාචාර්යවරයෙක් ලෙස ය. නමුත් ඔහු පාර්ලිමේන්තු මැතිවරණයේදී ආචාර්ය (Dr) යන නාම පාවිච්චි කර පාර්ලිමේන්තුව දක්වා පැමිණ කතානයකවරයා ලෙස පත් විය. මොහු සයිටම් පෞද්ගලික වෛද්‍යවරුන් බිහිකිරීමට විරුද්ධ පෙනී සිටියත් ඔහු තම ආචාර්ය උපාධිය මුදලට ලබාගත්තේ යැයි තමන් ම පවසන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් බව ය. ලංකාවේදී පෞද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධ අසෝක රංවල තම ආචාර්ය උපාධිය පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලබා ගැනීම ම නරුමත්වයේ තවත් පැත්තකින් කරළියට පැමිණියේ ය. සයිටම් එකට ලාංකික විරෝධයේ මූලික පසුබිම වූයේ නිදහස් අධ්‍යාපනයෙන් ලැබුණු සමාජීය ප්රජාතන්ත්රවාදය හකුළා පෞද්ගලිකත්වය වර්ධනය කිරීම නිසා වෛද්‍යවරයෙක් වීමේදී ඇතිවිය හැකි සමාජ නිදහස බිඳ දැමීම වළකා ගැනීම සඳහා සයිටම් විරෝධයේ ශක්තිමත් දෘෂ්ටිමය පදනම වූයේ ය. නමුත් අසෝක රංවල මැදිහත් වී තිබෙන්නේ පෞද්ලික විරෝධය මගින් සමාජයට තම පෞද්ගලිකත්වය විදහා පෙන්වීමට පමණි. ඔහුගේ මහාචාර්ය හෝ ආචාර්ය සහතික නැතිව හෝ ඇතිව මැදිහත් වීම මගින් පසක් වන කරුණ වන්නේ නරුමත්වයට ආ වැඩීම සඳහා ගත් පෞද්ගලික ක්‍රියාවක් බව ය.
මෙහිදී තවත් පැති කීපයක් තිබේ. ඒ පසුගිය 2019දී ගෝඨාභය රාජපක්ෂ විසින් ගොඩනැගූ “වියත් මග” නැමැති සංවිධානය ද මේ පෞද්ගලිකවාදය ම උපයෝගී කර ගත්තේ ය. වියත් මග බුද්ධිමතුන් විශාල පිරිස අතරින් වෛද්‍ය සීතා අරඹේපොල හා මහාචාර්ය චරිත හේරත්ගේ පෞද්ගලිකවාදය විමසා බලමු. වෛද්‍ය සීතා අරඹේපොල වෛද්‍ය වෘත්තිකයෙක් ලෙස ඒ මොහොතේ ආර්ථිකව ලංකාව වැටී ඇති තැනින් ගොඩනැගීමට දේශපාලනිකව තමා සතුව පෞද්ගලික දෘෂ්ටිවාදයක් ඇතැයි යන සංකල්පය මගින් පාර්ලිමේන්තුවට පැමිණියේ ය. ඇය පාර්ලිමේන්තුවේදී කළ පළමු කාතාවේදී ම ඇයට දේශපාලන හෝ ආර්ථික හෝ සමාජය ගැන“අ” යන්න” “ආ” යන්වත් නොදන්නා බව රටටම හෙළි විය. මෙහිදී අනෙක් පැත්තෙන් මහාචාර්ය චරිත හේරත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශනය ඉගැන් වූ මහාචාර්යවරයෙකි. මොහුගේ පෞද්ගලික දාර්ශනික දැක්ම ධනවාදය බව පැහැදිලි වූයේ ගෝඨාභයගේ ධනේශ්වර වැඩ පිළිවෙල සමග සම්බන්ධ වීම නිසා ය. ඔහුගේ මහාචාර්ය වෘත්තීය වූයේ විශ්ව විද්‍යාලය වෙත පැමිණෙන ශිෂ්‍යයන්ට දර්ශන විෂය ඉගැන්වීම ය. නමුත් ඔහුගේ පෞද්ගලික දර්ශනය වූ ධනවාදය පිළිසකර කරන්නට එම මහාචාර්ය පට්ටමට කුඩා ප්රතිසංස්කරණයක්වත් පසුගිය පාර්ලිමේන්තුවේ ගත කළ අවුරුදු 5ක් තුළ දී කළ නොහැකි විය. එම නිසා ඔහු පමණක් නොව වියත් මගම මේ ව්‍යුහයෙන් එළියට විසි වී තිබේ. එවිට මේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලින් සමාජීය න්‍යාය පත්‍රය කිසිම සුගතියක් අත්නොවන බව පැහැදිලි කරුණකි. ජාජබ මන්ත්‍රීවරුන්ගේ බොරු සහතික මගින් ඔප්පු වන්නේ එම මන්ත්‍රීවරුන් පෞද්ගලිකත්වය මුල්කරගෙන පැමිණි ක්‍රමවේදය නරුමත්වයක් කරා ගොස් ඇති බව ය. පෞද්ගලිකත්වය මගින් සමාජයට විසඳුමක් හමු නොවන බව පමණක් ස්ථීරව සනාථ වී තිබේ.
මෙහිදී බැලිය යුතු තවත් පැත්තක් තිබේ. ඒ වර්තමානයේ සමාජ පරිකල්පනයකින් ක්‍රියාත්මක වන සමාජීය දැක්මක් සහිත ක්‍රියාකාරීන් සිටිනවා ද යන්න ය. තවමත් ඒ අනුසාරයෙන් ඉතිරි වූ මහාචාර්යවරුන්, දේශපාලඥයන්, කලාකරුවන්, වෘත්තීයවේදීන්, මාධ්‍යවේදීන් ද අප අතර ඉතිරි වී සිටිති. ඔවුහු සමාජ ඥානය පංති අරගලය තුළ විධිමත් කිරීමට මතවාදීව විශාල කාර්යභාරයක් කරති. ඒවගේම පංති අරගලය ව්‍යුහය (වෘත්තීය සමිති) තුළ සමාජ පරිකල්පනය සහිත නායකයන් සිටිනවාද යන්න සමහරු විමසයි. එවැනි පිරිසක් වත්මනේ ද පංති තුළ විධිමත් බවකින් ඉතිරි වී සිටිති. ඒ ගුරු – ජෝසප් ස්ටාලින්” බැංකු – රංජන් සේනානායක” ටෙලිකොම් – ජගත් ගුරුසිංහ වැනි තවත් බොහෝ පිරිසක් ඉතිරි වී සිටිති. මොවුන් පංතිය තුළ දැක්මක් සහිතව ක්‍රියාත්මක වෙමින් සිටිති. වත්මනේ සමස්තය තුළ මේ සියළු දෙනාගේ එකතුවක් අවශ්‍ය මොහොතට පැමිණෙමින් තිබෙන්නේ රටේ අර්බුදය විශාල ප්‍රමාණයකින් පුපුරා යාමට නියමිත නිසා ය.
වත්මනේදී ජාජබ ගෙනියන වැඩ පිළිවෙල සමස්ත සමාජයේ ම ජන විරෝධය ගොඩනැගී පාරට පැමිණෙනු ඇත. ඒ ණය මත ගොඩනගන ආර්ථික වැඩ පිළිවෙල අර්බුදයට ගමන් කරන බැවින් වගේම රාජ්‍ය සේවයේ සිටින ලක්ෂ 20න් ලක්ෂ 5.5ක් ඉවත් කිරීමට පිඹුරුපත් සකස්කර ඇති බැවින් වගේම ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන බැවින් වගේම ජාතික ප්රශ්නය විසඳීමට පියවරක් නොගන්නා බැවින් වගේම දැනට රජය සතුව පවතින නිවාස මූල්‍යමය වාසියක් ගැනීම සඳහා පෞද්ගලික වෙළඳුන්ට පැවරීමට ගන්නා ක්‍රියාමාර්ග වගේම තවත් සමාජ ප්‍රශ්න විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මොවුන් නිර්මාණය කිරීමට නියමිතව ඇත. මේ සමාජ විරෝධී වැඩ පිළිවෙලට විරුද්ධ අයගේ එකමුතුකම වර්ධනය කර ගැනීමේ මොහොත, මේ වැඩ පිළිවෙලට විරුද්ධ සියළු දෙනා වෙත පැවරී ඇති වගකීමකි. එහිදී සාකච්ඡාමය එකකතුවක් තුළින් භාවිතාවක් ආරම්භ කළ යුතු ය. ඒ ගොඩ නැගෙන ජන විරෝධයට සමාජමය දැක්මක් අවශ්‍ය බැවිනි.
- ජාතික ජන බලවේගය ගොඩනැගූ පෞද්ගලිකත්වය, නරුමත්වයකට පෙරළුනේ ඇයි? - December 18, 2024
- ලිංගිකත්වය කළු ද? සුදු ද? අළු ද? - June 5, 2024
- ‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය.. - April 8, 2024