You are currently viewing ජනතාවට ආනන්දයක් වූ බටපොල නන්ද හාමුදුරුවෝ..

ජනතාවට ආනන්දයක් වූ බටපොල නන්ද හාමුදුරුවෝ..

ඒ කණගාටුදායක ආරංචිය ටික වේලාවකට කලින් ලැබුණා. උන්වහන්සේ වැඩවාසය කළේ බටපොල මහා විහාරයේ. උන්වහන්සේ එම විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරමින් සිටියා. උන්වහන්සේගේ බටපොල අනෝමදස්සී හාමුදුරුවන්ගේ ගෝලයෙක්.

බටපොල මහා විහාරය අවට ගම් හතකට පොදු පන්සලක්. දිවා රෑ දෙකේ ම ඕනෑ ම කෙනකුට වැඳපුදා ගන්නට පුළුවන් පන්සලක්. ගේට්ටු, තාප්ප ආදියෙන් කොටු වෙලා නැති පන්සලක්. පැමිණෙන මිනිසුන්ට පන්සලෙන් අවශ්‍ය මොනවා දැයි විමසා බැලීම නන්ද හාමුදුරුවන්ගේ ප්‍රථම රාජකාරිය වුණා. අවට ගම් හතේ උසස් පෙළ සමත් සියලු ම සිසුන් පන්සලට කැඳවා අඩුපාඩු විමසා කොට්ට, බෙඩ් ෂීට්, මදුරු දැල් ආදිය ලබා දුන්නා. නන්ද හාමුදුරුවන්ගේ ම වචනවලින් කියනවා නම්

ඒ විතරක් නොවෙයි, පන්සලට පැමිණෙන සෑම කුඩා ළමයකු ම ළඟට කැඳවා රස කැවිලි බෝතලයක් ඔවුන් වෙත දිගු කරන්න කවදාවත් නන්ද හාමුදුරුවන් ට අමතක වන්නේ නැහැ. දුර බැහැරින් එන වැඩිහිටියන්ගෙන් නොපමාව විමසන්නේ ‘කෑවේ නැහැ නේද’ කියලයි. බටපොල පන්සල කියන්නේ කිසි දාක කැමෙන් බීමෙන් හිගයක් තිබුණු තැනක් නොවෙයි. දායකයන් පන්සලට සලකපු හැටි තමයි ඒ.

නන්ද හාමුදුරුවන්ට අවසාන කාලයේ පන්සලට කොටු වී ඉන්න සිදු වුණේ බරපතල ලෙස අසනීප වූ නිසයි. දෙපයින් නැගිට ඇවිද ගන්න බැරි වන තුරු නිති පතා දිව්වේ කාහට හෝ උදව්වක් උපකාරයක් කරන්නට යි. සමහර දවස්වල කාගේ හෝ වුවමනාවකට කොළඹ යන උන්වහන්සේ එදා ම හවස් වරුවේ නැවත තවත් කාගේ හෝ වුවමනාවකට කොළඹ යනවා. උන්වහන්සේ ජීවත් වුණේ ම කාහට හෝ පිහිට වීමේ චේතනාවෙන් ම ද කියා සිතෙනවා.

උන්වහන්සේ විහාරාධිපති හාමුදුරුවන් ලෙස කළ කී දේට අමතරව වෘත්තීයමය වශයෙන් ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක් ලෙසත් ළමා සහ තරුණ පරපුර උදෙසාත් සහෝදර ගුරු පරපුර උදෙසාත් එලෙස ම කටයුතු කළා. ඊටත් එහාට ගොස් ලාංකේය සමාජය සුවපත් කිරීමේ අරමුණ පෙරදැරිව සමාජ දේශපාලන වැඩවලත් නිරත වුණා. දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග සමීපව වැඩ කළා. ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැක ගැනීමේ ව්‍යාපාරයේ සභාපති ලෙස පොදුවේ වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග සමග එක්ව මානව අයිතිවාසිකම් උදෙසා පෙනී සිටියා. දේශපාලනය සහ මහනකම ගැන උන්වහන්සේගේ ආදර්ශ පාඨය වූයේ ‘දේශපාලනය කරන්න කලින් හොඳ හාමුදුරු නමක් වෙන්න’ කියන එකයි.

උන්වහන්සේගේ ජීවිතයේ අර්ථය දකින්නට සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගරයන්ගේ 132වැනි ජන්ම දින සැමරුම සුවිශේෂ අවස්ථාවක්. නිදහස් අධ්‍යාපනයේ සාරය මැකී යන සැටි දැකීමෙන් කම්පිත වූ උන්වහන්සේ ‘අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක්’ ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරවා ගැනීමේ ව්‍යාපාරයකට මුල පිරුවා. ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගෙන දීප ව්‍යාප්ත මහජන පෙත්සමක් අත්සන් කිරීමේ වැඩසටහනක් දියත් කළා. ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ආගම් හා ජනවර්ග නියෝජනය කරන යහපත් මිනිසුන් එකතු කර ගත්තා. දිවයිනේ නන් දෙස සියලු ජනකොටස් නියෝජනය කරන සෑම තරාතිරමකම පුද්ලයන් පෙත්සමට අත්සන් කරන්න පටන් ගත්තා.

ඒ අතර සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගරයන්ගේ ජන්ම දිනයට දින දෙකකට පෙර කතරගම කිරිවෙහර අභියසට ගොස් මහජන පෙත්සමට අත්සන් ගන්න පටන් ගත්තා. එතැන් සිට මග දිගට පන්සල්, පල්ලි සහ මංසන්ධි වල දී පෙත්සමට අත්සන් ගනිමින් බටපොල මහා විහාරය දක්වා පැමිණියා. ඒ වන විට දිවයින පුරා මිනිසුන් දහස් ගණනක් අත්සන් කළ පෙත්සම් පන්සලට ලැබී තිබුණා. ඒ අවස්ථාවට ගාල්ලෙන් පමණක් නොව පිට පළාත්වලින් ද ගිහි පැවිදි පිරිසක් පැමිණ සිටියා. මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වරයකු ද පැමිණ සිටියා. ඔහුට උත්සවාකාරයෙන් පෙත්සම බාර දුන්නේ මේ ජනතා ඉල්ලීම ඉටු කරවා දීමට උපරිමයෙන් මැදිහත් වන ලෙස ඉල්ලමින්. ඒ පෙත්සමේ ලියා ඇති දේ මේ සබැඳියෙන් බලන්න පුළුවන්; http://peasl.blogspot.com/2016/09/c-w-w.html මහජන පෙත්සම බාරදුන් රැස්වීමේ ඡායාරූපයක් පහතින්. හිතවත් ගෞරවනීය නන්ද හාමුදුරුවනේ, ඔබ වහන්සේ පැතූ ලෙස ම මානව හිතවාදී හාමුදුරුවරුන් වගේ ම, බටපොල මහා විහාරය වැනි ජනහිකාමී පන්සන් ද තව තවත් බිහි වේවා!

Leave a Reply