You are currently viewing කොවිඩ් 19 වසංගතය හා ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය

කොවිඩ් 19 වසංගතය හා ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය

කොවිඩ් 19 වසංගතය පිම්මේ වැඩෙයි. මේ වන විට දෛනික නිල ආසාදිතයන් ගණන 4,500 ඉක්මවා ඇත. මේ පීසීආර් පරීක්ෂණ කිරීම කලින් කළ පමණට වඩා 10,000කින් පමණ අඩු කර ඇති තත්ත්වයක් තුළ ය. පෙර මට්ටමට කළා නම් නිල සංඛ්‍යාව 7.000 ක් පමණ වනවා ඇත. එහි තේරුම හඳුනා නොගත් ආසාදිතයින් දහස් ගණනක් සමාජය තුළ වෙසෙන බව හා ඔවුන් දිනපතා වෛරසය ව්‍යාප්ත කරමින් සිටින බව ය. නොනිල වාර්තා කියන්නේ සැබෑ ආසාදිතයන් ගණන එමෙන් තුන් ගුණයක් පමණ වන බව ය. එවිට මෙහි බරපතළ කම කොතෙක් ද යන්න අපට වටහා ගත හැකි ය. මේ වන විට දෛනික මරණ සාමාන්‍යය  200 ක් වී ඇත. ආසාදිත ගණනට අනුව ලෝකයේ 105-104 ස්ථානවල සිට අපි මේ වන විට 59 වන ස්ථානය කරා පැමිණ සිටින්නෙමු. මරණ අනුපාතය අතින් ගත් විට අපි ඉන්දියාව ද පසු කර වේගයෙන් ඉදිරියට යමින් සිටිමු. මේ වන විට ඉන්දියාවේ මරණ ගණන ජන සංඛ්‍යාවෙන් දශ ලක්ෂයට 315 ක් වන විට අපි 427 කරා පැමිණ සිටිමු. ලෝකයේ කොවිඩ් 19 මරණ අනුපාතය 2.07%වන විට අප  දැන ට 2.12% වශයෙන් එය පසුකර යමින් සිටිමු.

රෝහල්වල ධාරිතාව ඉක්මවමින් තිබේ. වෛද්‍ය, හෙද හා අනෙකුත් වෛද්‍ය සේවකයින් වසංගතයට ගොදුරු වීම ඉහළ යමින් තිබේ. ආසාදිත සෞඛ්‍ය සේවකයින් ගණන මේ වන විට 2,000 ඉක්මවා ඇති බවට වාර්තා වේ.  

ආණ්ඩුවට මුල සිටම වසංගතය මැඩලීමේ ඇත්ත උවමනාවක් තිබුණ බව පෙනෙන්නට තිබුණේ නැත. ඒ සම්බන්ධයෙන් එහි උපාය මාර්ගය වී තිබුණේ හා තවමත් වී තිබෙන්නේ එය සහමුලින්ම පිටු දැකීමට අවශ්‍ය පියවර ගන්නවා වෙනුවට එය යම් පාලනයක් යටතේ පවත්වා ගනිමින් තම පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා යොදා ගැනීම ය. එයට කොවිඩ් මැඩලනවාට වඩා  තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් දිනා ගැනීම, අත්තනෝමතික බලතල අඩුවකින් තොර ව යළි තහවුරු කර ගැනීම අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ආදිය සම්මත කර ගැනීම, තමන්ගේ සහ තම ගජ මිතුරන්ගේ මඩි තර කර ගැනීමේ මාර්ග ලෙස වරාය නගර ව්‍යාපෘතිය හා රටේ සම්පත් විදේශ ජාවාරම්කාරයින්ට විකුණා දැමීමේ ක්‍රියාවලිය අධිවේගී කිරීම, ආර්ථික සංවර්ධනයේ නාමයෙන් මහා ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකය තර කිරීමට අවශ්‍ය පියවර ගැනීම වැනි දෑ ප්‍රමුඛ වී තිබිණ.  කොවිඩ් මර්දනයට හිමි වූයේ ඒවාට දෙවෙනි තැනකි. දැනුදු ඒ පිළිවෙතේ වෙනසක් නැත.

2021_Sep_Wasantha_2

ඒ සීමිත කොවිඩ් මර්දන ක්‍රියාවලියේ දී ද සිදු වූයේ ප්‍රධාන කොටම සෞඛ්‍යයට අදාළ කාර්යයක් වූ එම  ක්‍රියාවලියේ සුක්කානම සෞඛ්‍ය අධිකාරයට පවරා ඒ සඳහා ආරක්ෂක අංශවල සහාය ලබා ගන්නවා වෙනුවට එය මිලිටරි කටයුත්තකැයි සිතා එහි වගකීම සෞඛ්‍ය අධිකාරියට ඉහළින් මිලිටරි අධිකාරියට පැවරීම ය. කොවිඩ් මැඩලීමේ ප්‍රධාන යාන්ත‍්‍රණය වශයෙන් පත් කරන ලද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබුවේ හමුදාපතිවරයා යි. වෛරස විද්‍යාඥයින් පැත්තක සිටිද්දී ඊට උගුර, කන්, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ හා ළමා ස්නායු වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය වැන්නන් මෙම බලකායට පත් කළ ජනාධිපතිවරයා ලංකාවේ වෛරස විද්‍යා විශේෂඥයින් වන මහාචාර්ය තිස්ස විතාරණ හා වෛරසවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක වන වෛද්‍ය සිරිමලී  ප්‍රනාන්දු වැනි අය පත් කළේ නැත. වාර්තා වන පරිදි ඒ වියත් මගට බැඳීමට කරන ලද ආරාධනය ඔවුන් ප්‍රතික්ෂේප කර තිබුණ නිසා ය. ආණ්ඩුව කොවිඩ් වසංගතය මැඩලීමට දෙන ලද අවධාරණය කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කළ ආකාරයෙන් ම අයෙකුට වටහා ගැනීම දුෂ්කර නොවේ. 

එමෙන්ම ආණ්ඩුව මෙම වසංගතය මැඩලීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය බරපතළ ලෙස අනතුරු හඟවමින් වළකාලීමේ ක්‍රියාමාර්ග ගැනීමට ඉහළම ප‍්‍රමුඛතාව දෙන්නැයි 2020 ජනවාරි ආරම්භයේ දී ම කළ ඉල්ලීම එතරම් සැලකිල්ලට ගත්තේ නැත. අපේ ජනාධිපතිවරයා මෙහි දී අනුගමන කළේ  හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බ‍්‍රසීල ජනාධිපති ජයිර් බොල්සනාරෝ අනුගමනය කළ පිළිවෙත ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ,

‘‘සමහර රටවල දේශපාලන කැපවීමේ මට්ටම හා එම කැපවීම පෙන්නුම් කරන ක්‍රියා අප සැම මුහුණ දෙන තර්ජනයේ මට්ටමට නොගැළපීම ගැන අපි කනස්සල්ලට පත්ව සිටිමු.’’යි කියා ය.

කොවිඩ් 19 වසංගතය මුළුමනින් ම සෞඛ්‍යය හා අදාළ ව පැන නැගුණකි. මෙහි දී ප‍්‍රමුඛවම කළ යුතු ව තිබුණේ වෛරසය රටට ඇතුළු විය හැකි මං අසුරා දමමින්  වසංගතය මැඩලීමට සෞඛ්‍ය සේවාව ඉහළින් ම බලමුළු ගැන්වීමට අවශ්‍ය පියවර ගැනීම ය. අනෙක් සියලු පියවර එයට, එහි අධීක්ණයට යටත් ය. එහෙත් ගෝඨාභය ආණ්ඩුව කොවිඩ් තර්ජනය හමුවේත් සෞඛ්‍යයට වෙන් කළේ කොවිඩ් වැනි තර්ජනයක් නො තිබුණ සමයේ ඉකුත් ආණ්ඩුව වෙන් කළ මුදලටත් වඩා අඩු මුදලකි. එම ආණ්ඩුව 2019 ට රුපියල් කෝටි 18,857 වෙන් කරන විට වත්මන් ආණ්ඩුව කොවිඩ් තර්ජනයට මුහුණ දිය යුතු ව තිබුණ  2021 වසර සඳහා වෙන් කළේ රුපියල් කෝටි 15,948 කි. එහෙත් ආණ්ඩුව 2021 සඳහා සෞඛ්‍යයට මෙන් දෙගුණයකටත් වැඩි මුදලක් රුපියල් කෝටි 35,019 ක් මාර්ග සංවර්ධනයට වෙන් කළේ ය. ආණ්ඩුවට කොවිඩ් මර්දනයට වඩා මාර්ග සංවර්ධනය ප්‍රමුඛ විය. 

රට වැසිය යුතු ව තිබූ නිසි අවස්ථාවල රට වැසුවේ නැත. කොවිඩ් මර්දනයේ නොසලකා නොහැරිය හැකි පිළියමක් වූ රට හෝ රටේ යම් යම් ප‍්‍රදේශ අගුලූ දැමීම කළ යුතු ම අවස්ථාවල දී පවා ආණ්ඩුව කළේ රට වැසුවොත් රට ආර්ථික වශයෙන් කඩා වැටෙනවා යයි කියමින් කල් මැරීම හා වෛරසය සැලකිය යුතු මට්ටමකින් ව්‍යාප්ත වූ පසු වදෙන් පොරෙන් අගුලූ දැමීමේ පියවර ගැනීම ය. රට වැසීමෙන් ආර්ථිකයට විශාල පහරක් එල්ලවන බව ඇත්ත ය. එහෙත් අවශ්‍ය විට රට නොවසා කොවිඩ් වසංගතය පැතිරෙන්නට හැරීම ආර්ථිකයට එල්ල කරන්නේ ඊටත් වඩා බරපතළ ප්‍රහාරයක් ය යන්න තේරුම් ගන්නට දුර දක්නා නුවණක්වත්, උවමනාවක්වත් ජනාධිපතිවරයාට තිබුණ බවක් පෙනෙන්නට නැත. ඔහු ජනතාවට කියන්නේ රට වහන්නම් හැබැයි කැප කරන්නට සූදානම් වන්න කියා ය.  කොවිඩ් මැඩලීම සඳහා රට සති දෙකකට තුනකට වැසීමෙන් රටක් බංකොලොත් වනවා නම් එයට වගකිව යුත්තේ ජනතාව නොව ගෝඨාභය ද ඇතුළු මෙතෙක් රට පාලනය කළ හා කරන පාලකයන්ම ය. මන්ද ආර්ථිකය අර්බුදයට හෙලූවේ ඔවුන් නිසා හා වසංගතය මේ සා මට්ටමකට වර්ධනය වන්න ඉඩ හැරියේ වත්මන් පාලකයන් නිසා ය. 

වෛද්‍ය විශේෂඥවරුන් ඇතුළු බොහෝ දෙනා නිශ්චිත හේතු සාධක පෙන්වා දෙමින් සති දෙක තුනකටවත් රට වසන්නැයි බල කර ඉල්ලා සිටියත් එය ගණනකට ගත්තේ ආණ්ඩුව නොවේ. ආණ්ඩුවේ ප‍්‍රවේශය වූයේ කොවිඩ් පැතිරුණත් එන්නත්කරණය හරහා එය පාලනය කර ගත හැකි යයි යන්න ය.   දැන් ඇති තරම් එන්නත් ලැබෙමින් තිබෙන බවත් එන්නත්කරණයෙන් වසංගතය පාලනය කළ හැකිවන බවත් ආණ්ඩුව කියා සිටියේ ය. එන්නත්කරණය අවශ්‍ය නමුත් එයම වසංගතය මැඩලීමට ප‍්‍රමාණවත් නොවන බවත් අද පිළිගත් කාරණයකි.

වෛද්‍ය සංගම්, වෘත්තීය සමිති, විවිධ සමාජ සංවිධාන, ආගමික නායකයින් හා ආණ්ඩුවේම ඇතැම් පාර්ශව සති දෙක තුනකටවත් රට වහන්නැයි ඉල්ලා සිටියා වූ ද වෘත්තීය සමිති ආණ්ඩුව රට වහන්නේ නැති නම් තමන් ස්වයං අගුළු දමා ගැනීමේ ක්‍රියාකාරිත්වයක් කරා යන බවට දැඩිව අනතුරු හඟවමින් සිටියා වූ ද අවසානයේ විවිධ ප්‍රදේශවල වෙළෙඳ සංගම් ස්වෙච්ඡාවෙන් වෙළෙඳ හල් වසා දමන්නට පටන් ගත්තා වූ ද තත්ත්වයක් තුළ ආණ්ඩුවට රට නො වසා සිටින්නට නො හැකි තත්ත්වයක් ඇති විය. අන්තිමට ජනාධිපතිවරයාට ඉතා ම නො කැමැත්තෙන් රට අගුළු දැමීමකට යාමට සිදු විය. එහෙත් ආණ්ඩුව යටත් පිරිසෙයින් පවතින තත්ත්වය යටතේ රට වසන්නට සිදු වන බව හෝ ඒ සඳහා සූදානම් වන ලෙස ජනතාව දැනුවත් කිරීමක් කළේ නැත. ඒ වෙනුවට කළේ රට වැසීමෙන් පලක් නැති බව හා එයින් රට තවත් අර්බුදයට යන බව කියා පෑම ය.

ආණ්ඩුව මෙම වසංගතය හමුවේ සිය වගකීම පැහැර හැර තිබේ. එපමණක් නොවේ. එය උපයෝගී කර ගනිමින් රටේ සම්පත් චීන, ඉන්දියානු හා ඇමෙරිකානු ආදී ජාවාරම්කාර සමාගම්වලට ද ගජ මිතුරු ව්‍යාපාරිකයන්ට ද කුණු කොල්ලයට පවරා දෙමින් තිබේ. විශේෂයෙන්ම එය දඩමීමා කර ගනිමින්  විරුද්ධ පාර්ශවීය හා ජනතා ක්‍රියාකාරිත්වයන් මැඩලීමට කටයුතු කරමින් තිබේ. කතා කිරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අමු අමුවේ පැහැර ගනිමින් තිබේ. ආණ්ඩුවේ දූෂණ” වංචා හා කෙරුවා වන් ගැන කතා කරන්නවුන් පසුපස රහස් පොලිසිය හා පොලිස් ඔත්තුකරුවන් ලූහු බඳවමින් තිබේ. පසෙකින් කොවිඩ් වසංගත මාරයා ය. පසෙකින් ආර්ථික අර්බුද රාක්ෂයා ය. තවත් පැත්තක ආණ්ඩුවේ මර්දනීය හස්තය ය. මෙවන් තත්ත්වයක් තුළ ආණ්ඩුව ජනතාව ඇද දමා ඇත්තේ අර මරණ තුනත් ඇති පැණි කෑ මිනිසාගේ තත්ත්වයකට ය. 

මේ තත්ත්වය හමුවේ රටේ වාම, ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රීය යන සියලූ පාර්ශවයන්ගේ කාර්යය විය යුත්තේ මෙම ත්‍රිවිධ සතුරන්ට එරෙහිව එක පෙළකට සිට ගැනීම ය. එක පෙළට සිට ගනිමින් නැගී සිටීම ය.

Leave a Reply