You are currently viewing කෙන්යාවෙන් ශ්‍රී ලංකාවට : විරෝධතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉහළ අභිලාෂය

කෙන්යාවෙන් ශ්‍රී ලංකාවට : විරෝධතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉහළ අභිලාෂය

මගේ හැදෙන වැඩෙන වියේදී, මම දිගු දුර දිවීමෙහි නිරත වූ විට, මම රූපවාහිනියෙන් නැරඹූ කෙන්යානු දුර දුවන්නන්ගේ වෙහෙසක් නොමැති ලෙසක් පෙණුනු රිද්මයට වශී වී සිටියෙමි. එම කඩිසර කෙන්යානු ගැහැණුන් සහ පිරිමින් මෙන් දිවීමේ මගේ සිහිනය කිසිදා ඉටුකර ගැනීමට නොහැකිව, මගේ පසුකාලීන වසරවලදී මම 1950 ගණන්වල යටත්විජිත විරෝධී මාවු මාවු කැරැල්ල සහ කෙන්යාවේ නිදහස පුරෝකථනය කළ කුරිරු බ්‍රිතාන්‍ය ප්‍රති-කැරැල්ල ගැන කියෙව්වෙමි. පසුගිය සතියේ කෙන්යාවේ ඉහළ යන බදු සහ අඩපණ කරන සුළු පටි තදකරලීමේ  ක්‍රියාවන්ට  එරෙහිව ඇති වූ බලවත් විරෝධතා නිසා, මගේ මනසේ තිබූ එම පෙර රූප ජීවමාන විය.

පසුගිය සතියේ කෙන්යානු තරුණයන් මාර්ග බාධක මත එල්ල කළ අභීත තෙරපුම, හරියටම දෙවසරකට පෙර අපේ තරුණයන් කොළඹ ජනාධිපති මන්දිරයට කඩා වැදීම අපට මතක් කර නොදී සිටිය නොහැක. කෙන්යානු ව්‍යාපාරයේ දැන් ඔවුන්ගේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි කරන ඉල්ලීම් ශ්‍රී ලංකාව පුරා අපට ඇසුණු දෙය ප්‍රතිරාවය කරයි, එහි ප්‍රතිඵලය වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලා යාමයි.

මෙම සන්දර්භය තුළ, කෙන්යාවේ අර්බුදයෙන් සහ විරෝධතා වලින් ශ්‍රී ලංකාවට සහ වඩාත් පුලුල්ව ගෝලීය දකුණට බොහෝ සංවේදී පාඩම් තිබේ. ගෝලීය දකුනේ බොහෝ පාලක ප්‍රභූ තන්ත්‍රයන්ට  බටහිර හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුශාසනාවෙන් ඔබ්බට දැක්මක් නැත. වත්මන් ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය නැවත නැවතත් ගැඹුරු වන ණය අර්බුදවලට, විසඳුමකට වඩා, හේතුව වෙයි. තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා අසමාන සහ උද්ධරණීය  ගෝලීය පර්යායක් ශක්තිමත් කරන ණයහිමියන්ගේ සහ බටහිරයන්ගේ අවශ්‍යතා සමඟ පෙලගැසී ඇති බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නිරාකරණයේ මාවත අනුගමනය කිරීම නිෂ්ඵල ය.

කෙන්යාව පසුගිය වසර කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුළුල් වැඩසටහනක මැද සිට ඇති අතර, එය ණය පැහැර හැරීමෙන් වැළකුණු සාර්ථක කතාවක් ලෙස ඉදිරිපත් කරනු ලැබ ඇත. මාසයකට පෙර, “නයිරෝබි-වොෂින්ටන් දැක්ම” (The Nairobi-Washington Vision) දියත් කිරීම සඳහා කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ ධවල මන්දිරයේදී පිළිගනු ලැබීය.

මහත් කාහල නාද මධ්‍යයේ, ‘දැක්ම’ පිළිබඳ  ලේඛනය කියා සිටින්නේ මෙලෙසිනි :

ධවල මන්දිරයේ මේ සියලු අනුග්‍රහය දක්වන “ඉහළ අභිලාෂකාමී” කතාව සමඟින්, ‘දැක්ම’  ලේඛනයේ  අවසාන පේළි එය වැඩියෙන් හෙළිකරන්නේ නව බෝතල්වල දැමූ පැරණි වයින් ලෙස ය:

වෙනත් වචන වලින් කිවහොත්, වොෂින්ටනය සඳහා විසඳුම වන්නේ සුපුරුදු පරිදි දේශීය මූල්‍යකරුවන් සමඟ සම්බන්ධ වීමෙන් ගෝලීය දකුණ අමාරුවෙන් විවර කිරීමට ගෝලීය මූල්‍යකරුවන් විසින් මෙහෙයවනු ලබන වඩා ඉහළ මූල්‍යකරණයයි.ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙලඳපොලවල වානිජ ණය ගැනීම් මගින් පැන නගින ස්වෛරී ණය අර්බුදයේ වත්මන් රැල්ලේ මූලය එවැනි මූල්‍යකරණයක් බව සැලකිල්ලට ගත යුතු කරුණක් ලෙස සළකනු නොලැබෙයි. ඇත්ත වශයෙන්ම ධවල මන්දිරය පාලනය කරන වෝල් වීදියේ ගෝලීය මූල්‍යකරුවන් සඳහා තවදුරටත් උද්ධරණය සඳහා මාර්ගය මෙයයි.

වොෂින්ටනයේ මේ සියලු අධි අභිලාෂකාමී කතාවෙන් යන්තම් මාසයකට පසුව, පටි තදකරලීමේ  පියවරයන්ට සහ තව දුරටත් බදු ඉහල දැමීමේ පියවරයන්ට එරෙහිව නයිරෝබිහි විරෝධතා පුපුරා ගියේය. එම බදු ඉහල දැමීම් ම වොෂින්ටනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරියට තල්ලු කරන ලදී. 2024 ජූනි 11 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශය, කෙන්යාව සමඟ එහි ණය පහසුකම් තුනක් සම්බන්ධයෙන් මාණ්ඩලික මට්ටමේ ගිවිසුම්වලට එළැඹුණු විට, පහත සඳහන් දේ ප්‍රකාශ කළේය.

එවන් වූ මහජන කෝපයට තුඩු දුන්නේ, පටි තදකරලීමේ  පියවර, රාජ්‍ය ආයෝජන, රාජ්‍ය අනුග්‍රහය, වැටුප් සහ රාජ්‍ය ව්‍යවසායන් අඛණ්ඩව ඛාදනය කරමින් සිටියදීම ගෙන ආ මෙම මූල්‍ය පනත් කෙටුම්පත සහ අත්‍යාවශ්‍ය දේ ඇතුළු බදු වැඩි කිරීමේ පියවරයන් ය. “කෙන්යාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පර්යේෂණ සඳහා යොදාගන්නා විද්‍යාගාර මීයා නොවේ” යන්නද විරෝධතා සටන් පාඨ වලට ඇතුළත් විය. වොෂින්ටනයේ ඉහළ අභිලාෂකාමී පොරොන්දු සහ ගෝලීය දකුණේ සමාජ දුක්ඛිත යථාර්ථය සමඟ මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කතාන්දරය නිතර අසන්නට ලැබේ. ඇත්ත වශයෙන්ම, “ණයගැති සන්ධානයක්” පිහිටුවීමට සහ වෙනත් සංවර්ධන මාවතක් සැළසුම් කිරීමට දකුණු-දකුණු සහයෝගීතාවයක් නොමැති නම්, අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ බටහිර විසින් ‘විද්‍යාගාර මීයන්’ මෙන් දිගටම සලකනු ඇත.

ණය අර්බුද විසඳීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශය වටා ඇති පිටකටුව ඉරිතලා යාමට පටන් ගෙන තිබේ. නයිරෝබි හි කැරැල්ල පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ දරුණු  විවේචන සමඟ දිග හැරෙමින් තිබියදීත්, අපගේ ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බේරුම්කරණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුව සැමරීමට ය. ඊටත් වඩා විශාල ණය කොටසක් හිමි බැඳුම්කර හිමියන් තවමත් එකඟතාවට පත් වී නොමැති අතර, ද්විපාර්ශ්වික ගනුදෙනුවේ නියමයන්, ණය පිළිබඳ අවසාන තීරණයක් ගැනීම දිගින් දිගටම කල් දමමින් සිටින අතරම, හුදු 30% ක ණය කප්පාදුවක් සපයයි. ශ්‍රී ලංකාව 2027 සිට සෑම වසරකම විදේශ ණය සේවා සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ට සමාන මුදලක් ගෙවනු ඇත. දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක රාජ්‍ය ආදායමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉලක්කයක් ලබා දී තිබෙන තත්වයක් යටතේ, එවැනි බාහිර ණය ගෙවීම් සෑම වසරකම රාජ්‍ය ආදායමෙන් 30% ක් වනු ඇත.

පසුගිය සතියේ ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රකාශයට වඩා හොඳින් කොළඹ කොම්ප්‍රදෝරු ප්‍රභූ තන්ත්‍රයේ උද්ධච්චකම අල්ලා ගත නොහැකි වූවාක් මෙනි.

එය හරියට ධවල මන්දිරයට ගොස් කොළඹ – වොෂින්ටන් දැක්මක් එළිදැක්වීමට තම ඉහළ අභිලාෂයෙන් යුතු ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇතිවාක් මෙනි!

මේ වසර අග මැතිවරණ එනතුරු බලා සිටින කොළඹ දේශපාලන විපක්ෂය අවදි විය යුතුය. ඊනියා ආර්ථික ප්‍රකෘතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාවතට විකල්පයක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි නම්, ඔවුන්ගේ දේශපාලන අනාගතය කෙන්යාවේ මෙන් අවසන් විය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් මධ්‍යයේ ජනාධිපති රූටෝ කෙන්යාවේ මැතිවරණයකින් ජයග්‍රහණය කළ නමුත් වසර දෙකක් ඇතුළත ඔහුට ඉල්ලා අස්වීමේ ඉල්ලීම්වලට මුහුණ දීමට සිදුවේ. අපි කෙන්යාවේ ධෛර්ය සම්පන්න විරෝධතාකරුවන් සමඟ අපගේ සහයෝගීතාවය ප්‍රකාශ කරන අතරම, අප ඔවුන්ගේ අත්දැකීම් වලින්ද ඉගෙන ගත යුතුය. නිවැරදි මඟ පෙන්වීමකින් යුතු අලුත් ආණ්ඩුවක් ඇති කර ගැනීම සඳහා, මැතිවරණවලට පෙර කරන බලමුළු ගැන්වීම් සහ අරගල මැතිවරණ මෙන්ම වැදගත් විය හැකිය.

Leave a Reply