You are currently viewing කූරගල ජයිලනි මුස්ලිම් පල්ලියේ පුරාවෘතාන්තය

කූරගල ජයිලනි මුස්ලිම් පල්ලියේ පුරාවෘතාන්තය

ගෞස් ඊ අසාම් යන නමින් ද හඳුන්වන කුටුබ් මුහියිඩීන් අබ්දුල් කදීර් ජයිලානි මැද පෙරදිග, පාකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මැලේසියාව සහ ඉන්දුනීසියාවේ පවා මුස්ලිම් ආගමිකයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර ඉස්ලාමීය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පඬිවරයෙකි.

ඔහුගේ ජීවිත කාලයේ දී වසර දහතුනක් අබිරහස් ලෙස අතුරුදහන් ව සිටියේය. ඒ කාලය තුළ ඔහු මුහුදු මට්ටමේ සිට අඩි දහස් ගණනක් උසින් පිහිටි ඝන වනාන්තරයෙන් වැසී තිබුණ ( බලන්ගොඩ සිට සැතපුම් 15ක් ඔබ්බෙන්) දෆ්තාර් ජයිලනි හෝ කූරගල නමින් හැඳින්වෙන ස්ථානයේ භාවනාවේ යෙදී සිටි බව ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් බැතිමත්හු විශ්වාස කරති.

මරික්කාර් ගේ වැඩිමහල් පුත්, බලන්ගොඩ ඉස්ලාමීය සංගමයේ සභාපති ඇම් එල් ඇම් අබුසාලි පවසන ආකාරයට එහි යාර 400ක් පමණ ඈතට දිවෙන ගුහාවක් ද ඇත. ඉන් ඔබ්බට ඇත්තේ යෑමට පවා අපහසු දැඩි ප‍්‍රපාතයකි.

”වවුලන්ගෙන් පිරී ඇති සමහර විට සර්පයන් ද සිටිය හැකි අඳුරු ගුහාව ගැන නොයෙකුත් ප‍්‍රවාද ඇත. මෙම ගුහාවට පිවිසි කිසිවෙකු ඒ ගැන කිමට පණ පිටින් ආපසු පැමිණ නැත. එහෙත් එම ගුහාව (කිසිවෙකුට තරණය කළ හැකි නම්) අඩි දහසක් පමණ පහතින් පිහිටි බින්තැන්න දක්වා යා හැකිය.”

කුටුබ් මුුහියිඩීන් සාන්තුවරයා කූරගල ඓතිහාසික ගල් ගුහා පල්ලියේ භාවනාවේ යෙදුණේ ය. ඔහු එම සිද්ධස්ථානයට පැමිණීම ගැන කතා පුවත් රැසක් පවතී. ක්‍රි.පූ.300 දී ශ්‍රී ලංකාව ගැන අරාබි ජාතිකයන් දැන සිටි බව සත්‍ය නම් මැද පෙරදිග සිටි පැමිණි සංචාරකයන් ශ්‍රී පාදය (ආදම්ගේ කන්ද) ගැන සිටින්නට ඇත. එය ඔවුන්ගේ ලේඛනවල නිතර සඳහන් වේ.

2022mar07[2]_ibn_battuta
ඉබ්න් බටුටා [Ibn Battuta]

ලොව පළමු මුස්ලිම් මිනිසා ආදම්යැයි විශ්වාස කරන මුස්ලිම් ආගමිකයෝ අල්ලා පළමු ශාස්තෘවරයා සේ සලකති. ෂාහිහ්උල් බුඛාරි සහ ටෆ්සිර් භයිසවි සහ ටෆ්සිර් ඛාසින් වැනි කුරාණ අටුවා ඇතුළත් ( ශාස්තෘවර මුහමඩ් ගේ සම්ප‍්‍රදායන් සහ දේශනා ඇතුළත්) හඩිත් ග‍්‍රන්ථයේ ආදම් සෙරන්ඩිබ් දේශයේ ( ශ‍්‍රී ලංකාවේ) නූඩ් නම් කඳු මුදුනට පහළ වූ බව සඳහන් වේ.

කෙසේ වුවත් ආදම්ගේ පාදය වන්දනා කළ වඩාත් ප්‍රකට අරාබි සංචාරකයා වන්නේ මොරොක්කෝ හි සිට පැමිණි ඉබ්න් බටුටා ය. ඔහු ක්‍රි.ව. 1344 දී ආදම් ගේ පාදය නැරඹුවේ ය. බටුටා ඔහුගේ ලිපිවල ආදම්ගේ පාදයට යන ගමන් මාර්ගයේ තිබූ සුප්‍රකට මුස්ලිම් පූජ්‍යස්ථාන ගණනාවක් ගැන සඳහන් කරයි. ආදම්ගේ පාදයට යන ගමන් මාර්ගයේ වන්දනාකරුවන් සහ සංචාරකයන් නවාතැන් ගත් ස්ථානයක සිටි මුස්ලිම් තාපසයෙකු ගැන ද ඔහු සඳහන් කරයි.

ක්‍රි.ව. 1344 දී බටුටා ආදම්ගේ පාදය නැරඹීමට ගමන් කළ කූරගල ද ඇතුළත් මාර්ගයේ ඩෙනිස් ප‍්‍රනාන්දුගේ අනුග‍්‍රහයෙන් ලබා ගත් සිතියමක් අබුසාලිගේ පොතේ ඇතුළත් ය. මුල් කාලයේ අරාබින් සහ මුස්ලිම් ආගමිකයන් කූරගල හරහා ආදම්ගේ පාදය නැරඹීමට දුෂ්කර වූත් වෙහෙසකර වූත් ගමනක යෙදෙන අතර තුර දෆ්තාර් ජයිලනි හි කුටුබ් මුහුයිඩීන් හමු වූ බවට අනුමානය කළ හැකිය.

බටුටා කූරගල ඓතිහාසික දෆ්තාර් ජයිලනි ගල්ගුහාව නැරඹීමට යෑම ඔහුගේ ඉන්දියානු උප මහද්වීප සංචාරයත් සමග සිදුවන්නට ඇතැයි සිතිය හැකිය. කුටුබ් මුහුයිඩීන් ආදම් ගේ පාදය නැරඹීමට ගිය අවස්ථාවේ කූරගල අසළ ගල් ගුහාවේ භාවනා කළ ආකාරය පිළිබඳ ප‍්‍රවාද ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවත ඒ.

කූරගල සහ හිටුවන්ගල, බලන්ගොඩ සානුවේ කෙළවර පිහිටි කඳු ගැට දෙකකි. ගාල්ලේ සිට රත්නපුරය හරහා ආදම්ගේ පාදය ට වැටී ඇති ඓතිහාසික ගමන් මාර්ගයේ දෆ්තාර් ජයිලනි කඳුකර භාවනා මධ්‍යස්ථානයක් ලෙස පොදුවේ හැඳින් වේ. එහි ඇති ගුහා සිතුවම්, අරාබි ශිලා ලේඛන, සොහොන් කොත් සහ පුරාවෘත නිසා කුටුබ් මුහුයිඩීන් භාවනාවේ යෙදුන සමයේ සැලකිය යුතු කාලයක් කූරගල ජයිලනි හි ගත කළ බවට විශ්වාස කළ හැකිය.    

මෙම සංචාරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ෂතුරා ෂන්කරන් ගේ කෘතියක දැක් වේ. එහි සඳහන් වන ආකාරයට ඔහු පළමුවෙන් පැමිණියේ ආදම්ට ගරු පුද කිරීම සඳහා ආදම්ගේ කන්ද නැගිමට ය. ඉන් පසුව වසර 12ක් උපවාසයේ යෙදීමට හා භාවනා කිරීමට දෆ්තාර් ජයිලනියට ගොස් ඇත.

කූරගල සමග කුටුබි මුහියිඩීන්ගේ සම්බන්ධතාවය පිළිබඳ සාක්ෂියක් වන්නේ 1922 දී මුස්ලිම් පල්ලියක් ඉදි කිරීමට කැනීම් කරන විට අඩි දහයක් පමණ ගැඹුරින් ක්‍රි.ව. 1322 ට අයත් යැයි සැලකෙන මුහියිඩීන්ගේ ශිෂ්‍ය යනුවෙන් සඳහන් පුවරුවක් සොයා ගැනීම ය. පැහැදිලිව ම මෙම සොහොන පෘතුගීසීන් පැමිණීමට බොහෝ කලකට පෙර සිටි ඔහුගේ ශිෂ්‍යයෙකුගේ ය. පෘතුගීසීන් පැමිණීමත් සමග අරාබින් සතුව තිබු වෙළඳාමත් කූරගල ගමන් මාර්ගයත් අහිමි විය.

2022mar07[2]_mohiyadeen
සෙල්ලිපිය: ඩාර්වේස් මොහියාදීන් 715 (AH)

1922 දී හිටුවන්ගලට පහතින් කුඩා පල්ලියක් ඉදි කර ඇත. එම පල්ලියට වහලක් අවශ්‍ය නොවුයේ ඊට ඉහළින් නාගයකුගේ පෙණයක ආකාරයෙන් තිබු ගල් පියැස්සකින් අව්වෙන් සහ වැස්සෙන් ආවරණය ලැබුණ නිසාය. එහි අරාබි අකුරුවලින් කොටන ලද සටහන් කීපයක් ම ඇති අතර මුස්ලිම් යාඥාව සඳහා දිශාව පෙන්නුම් කරන කාබ්ලා, කිබ්ලා සහිත ගලේ කොටන ලද මිහ්රාබ් ආකාරය ද දැකිය හැකිය.

ඇත්තෙන්ම 1901 දී සහ 1928 දීත් ඊට පෙරත් මුද්‍රණය කරන ලද සිතියම්වල කූරගල මොහොමදි සිද්ධස්ථානයක් ලෙස නම් කර ඇත. කෙසේ වුවත් නිදහසින් පසුව සංස්කරණය කරන ලද ශ‍්‍රී ලංකාවේ අඟලේ සිතියමෙන් 1971 දී මෙම සටහන ඉවත් කර ඇත. 1971 සිතියමේ එම ස්ථානය නම් කර ඇත්තේ ක්‍රි.පූ. දෙවන ශතවර්ෂයට අයත් බෞද්ධ සිද්ධස්ථානයක් සේය. ඒ සඳහා ඇති එකම නිදසුන වන්නේ 1972 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සවි කර ඇති පුවරුව පමණි.

කෙසේ වුවත් දෆ්තාර් ජයිලනි වැදගත් මුස්ලිම් ආගමික ස්ථානයක් ලෙස රත්නපුර ආණ්ඩුවේ ඒජන්තවරුන් ගේ දිනපොත්වල සටහන්ව පවතී. එම සටහන් 1857 ජනවාරි 13 එච්. මුයාර්ට්ස්, 1887 මාර්තු මස එච්. වාස්, 1910 පෙබරවාරි 12 ආර් බී හෙලින්ග්ස්, 1911 ජනවාරි 12 ජී. කුක්සන්, 1914 මාර්තු 26 ආර් එන් තයින්, 1922 සහ 1929 ජී එච් කොලින්ස්, 1935 ඇන් ජේ ලූඩින්ග්ටන් යන ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ දින පොත්වල ඇත.

දෆ්තාර් ජයිලනි ආරක්ෂා කිරීමේ කාර්ය මූලික වශයෙන් සිදු කරන ලද්දේ මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසිනි. වක්ෆ් නීතිය පැනවීමෙන් පසුව පල්ලිය සහ ස්ථානය එම පනත යටතේ ලියාපදිංචි කළ අතර පල්ලියේ පරිපාලනය ඒ අනුව පවත්වා ගෙන එන ලදී. 

ඒ අනුව මුස්ලිම් උරුමය ආණ්ඩුව විසින් පිළිගෙන ඇත. 1958 පෙබරවාරි 18 දින ආණ්ඩුවේ ඒජන්ත විසින් දෆ්තාර් ජයිලනි උත්සවය, වන්දනාමාන කිරීමේ ආඥාපනත (Pilgrimage Ordinance) යටතට පත් කරන ලදී. කෙසේ වුවත් අනතුරුව, පැහැදිලි නොකළ හේතු අනුව ආණ්ඩුව සිය අදහස වෙනස් කොට ඉල්ලා සිටි අක්කර හතර අනුග්‍රාහක කල් බදු ක්‍රමය (Preferential Lease ) යටතේ ලබා දුන්නේය.

ඒ අතරතුර දේශපාලන වුවමනාවකින් යුත් පිරිසක් නැවත වරක් කූරගල බෞද්ධ වැදගත්කමකින් යුත් ස්ථානයක් බව කියා සිටිය හ. ආචාර්ය නිශ්සංක විජේරත්න සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්ව සිටිය දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දෆ්තාර් ජයිලනි හි දාගැබක් ඉදි කිරීම ආරම්භ කෙළේය. දාගැබ අඩි දෙකක් උසට ඉදි කළ පසු 1971 දී ඔවුහු එය වසර 2000ක් පැරණි බව කියා සිටිය හ.

කෙසේ වුවත් දාගැබ ඉදි කර ඇත්තේ ප්‍රදේශයේ ගඩොලින් සහ කන්කසන්තුරේ සිමෙන්තිවලින් බව පෙන්වා දිමෙන් පසුව කැබිනට් මණ්ඩලය දාගැබ ඉදි කිරීම නතර කිරීමට නියෝග කර මුස්ලිම් පල්ලිය සහ ගල් ගුහාව පිහිටි ප්‍රදේශය පුරා විද්‍යාත්මක රක්ෂිතයක් බව ප්‍රකාශ කෙළේය.

කූරගල දාගැබක් නොතිබු බව 1971 ජනවාරි 21 දවස පුවත් පතට ලිපියක් සපයමින් පූජ්‍ය කිරිඇල්ලේ ඥනවිමල හිමියෝ ප්‍රකාශ කළහ.

තමන් පුරාවිද්‍යා නියෝජ්‍ය කොමසාරිස් චාර්ල්ස් ගොඩකුඹුරේ සමග අවස්ථා පහක දී එම ප්‍රදේශයේ සංචාරය කළ නමුත් බෞද්ධ නටබුන් කිසිවක් දුටුවේ නැතැයි උන්වහන්සේ පැවසූහ. ආරවුලට මුල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හදිසියේ ඉදි කරන ලද දාගැබ නිසා මෙම සාක්ෂිය ඉතා වැදගත් ය.

කෙසේ වුවත් අන්තවාදී ජාතිවාදී ජාතික හෙළ උරුමය තවත් පිරිසක් සමග එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසුව කූරගල බෞද්ධ මධ්‍යස්ථානයක් බව පැවසීමත් සමග තත්වය උණුසුම් විය. වාර්ගික ආගම්වාදී පැසිස්ට්වාදී බොදු බල සේනාව මුස්ලිමුන්ට එරෙහිව නැගි සිටින්නැයි සිංහල ජනතාවගෙන් ප්‍රකෝපකාරී කතා පවත්වමින් ඉල්ලා සිටීමත් සමග තත්වය වඩාත් උග‍්‍රවිය. 2013 මහනුවර දී බොදු බල සේනාව, වෙසක් උත්සවය කූරගල දී පැවැත්වීමට සූදානම් වන්නැයි ඉල්ලා සිටියේය.

පෞරාණික සුෆි සිද්ධස්ථානයක් වන කූරගල මුස්ලිම් ආගමිකයන්ට වැදගත් වන්නේ එහි ඇති අරාබි අක්ෂරවලින් යුත් හාලා ලිපිය සහ සොහොන් කොත් නිසාය. ආදම් ගේ කන්ද වන්දනා කිරීමට ගිය ශ්‍රේෂ්ඨ ඉස්ලාමීය සාන්තුවරයෙකු එහි ගල් ගුහාවේ වසර 12ක් භාවනා කළ බවට ඇති සාක්ෂිවලින් එය වඩාත් තහවුරු වේ. වසරකට වරක් වන්දනාකරුවෝ ෂික් මුහියිදීන් අබ්දුල් කාදර් සාන්තුවරයාගේ අභාවප‍්‍රාප්තවීමේ සංවත්සරය පැවැත්වීමට එහි රොක් වෙති. අනෙක් කාලයන්හි දී එය සුෆි දේශකයන්ගේ භාවනා කිරීමේ සහ වනගතව සිටීමේ අරමකි.

එම සිද්ධස්ථානයේ ඇති සාමකාමී බවට එහි ඓතිහාසික ආරම්භය පිළිබඳ ව මෑතක දී හට ගෙන ඇති මතබේදය නිසා හානි සිදුව ඇත. භික්ෂූන් සහ අන්තවාදී කණ්ඩායම් මෙම ගල් ගුහා පිහිටි ස්ථානය පැරණි බෞද්ධ ආරණ්‍යයක් යැයි දශක ගණනාවකට පෙර නගන ලද හඬ දේශපාලන ක්ෂේත‍්‍රයේ වැඩියෙන් අවධානයට ලක් වෙමින් පවතී. එම කණ්ඩායම එහි ඇති පල්ලිය ඇතුළත් සියලු ඉස්ලාමික ගොඩනැගිලි සහ ස්මාරක ඉවත් කළ යුතු යැයි ඉල්ලා සිටිති. දිවයින පුරා සිටින ඉස්ලාමීය ආගමිකයන්ට එම සිද්ධස්ථානයේ ඇති ඓතිහාසික වැදගත්කම නිසා ජයිලනි පල්ලියට එල්ල විය හැකි කිසියම් තර්ජනයක් සහ එම ස්ථානයේ ඉතිහාසය වෙනස් කිරීමට ගන්නා උත්සාහයක් බෞද්ධයන් සහ මුස්ලිම් ආගමිකයන් අතර බරපතළ උණුසුම්කාරී තත්වයක් ඇතිවීමට හේතු වනු ඇත.

කූරගල සිද්ධිය අන්තවාදී කොටස් රට පුරා පතුරුවන විසබීජ සාගරයෙන් එක් ගැටුමක් පමණි.  දිනෙන් දින උග‍්‍රවන මුස්ලිම් විරෝධී ව්‍යාපාරය නිසා මුස්ලිම් ප්‍රජාවට සහ එහි වැඩිහිටියන්ට ඔවුන් සන්සුන්ව තබා ගැනීමටත් පලි ගැනීමේ චේතනාවෙන් හට ගන්නා වාර්ගික ගිනිසිළු කෙතරම් කලක් පාලනය කර ගත හැකි ද යන්නත් බරපතළ ගැටලුවක් වනු ඇත.

තවත් සුළුතර ප්‍රජාවකට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගොඩ නැගීම රට නැවතත් වාර්ගික-ආගමික ගැටුමකට තල්ලූ කරන අතර ලොව පුරා ඇති මුස්ලිම් රටවල අවධානය අප රට කෙරේ යොමුවීමට හේතුවක් ද වනු ඇත.    

Leave a Reply