You are currently viewing අනගාරික ධර්මපාල චින්තනයේ නොදුටු පැත්ත

අනගාරික ධර්මපාල චින්තනයේ නොදුටු පැත්ත

1864 වර්ෂයේ දී අනගාරික ධර්මපාලතුමා උපත ලද්දේ ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව අතිශ්‍යයින්ම  පරාධීන වෙලා තිබුණු යුගයක. 1847 දී  මාතලේ කැරැල්ල පරාජය වූවාට පසුව ලංකාවේ ජාතික ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වූවා. ඉන් අනතුරුව ඇති වු ජාතික ව්‍යාපාරය තමයි හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ප්‍රමුඛ භික්ෂුන්වහන්සේලා විසින් ඇතිකරනු ලැබූ බෞද්ධ පුනරුදය. මෙම බෞද්ධ පුනරුදය සිහින් කෙඳිරියක් මෙන් තිබෙන විට, එය කාහල නාදයක් බවට පත්කළේ, අනගාරික ධර්මපාලතුමා. එතුමා අවුරුදු විස්සක පමණ තරුණ වයසේ සිට ජාතික සේවය සඳහා කැප වුනා. එතුමා දුටුවා තමන් උපත ලද, ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජාතිය, බලගතු අධිරාජ්‍යයකට පෑගී තමන්ගේ භාෂාව, සංස්කෘතිය, ආගම හා සදාචාරය විනාශ කර ගනිමින් සිටින බව. එතුමා එම තැලී පෑගී සිටි ජනතාව පිබිදවුවා.

තුන් ආකාර පිබිදවීම

ධර්මපාලතුමාගේ ලිපි, එතුමාගේ කථා සහ එතුමාට පක්ෂව හා විපක්ෂව විවිධ පාර්ශවයන් විසින් පළකරන ලද ලිපි  දෙස වෙනත් කෝණයකින් බලනවිට, එම පිබිදවීම එතුමා තුන් ආකාරයකට  සිදුකල බව පෙනෙනවා. පළමුව, එතුමා සාමාන්‍ය සිංහල ජනතාවට තේරෙන කර්කශ භාෂාවකින්  පැහැදිලි කරල දුන්නා, සිංහල ජාතිය වැටිල තිබෙන පරාධීන තත්ත්වය පිළිබඳව. ආර්ථික වශයෙන් අපි කොතරම් දුගීභාවයට පත්වෙලා තිබෙනවාද, පිටරටවලින් යැපෙන තත්ත්වයට පත්වෙලා තිබෙනවාද, තම  භාෂාව, ආගම හා සංස්කෘතිය විනාශ කරගෙන තිබෙනවාද යන්න පැවසුවා. විශේෂයෙන්ම එතුමා සදහන් කලා, සිංහලයා දියුණුවීමට නම් කම්මැලිකමින් තොරව වැඩ කල යුතු බව. එහිදී එතුමා මහන්සිවී වැඩකරණ වෙනත් ජාතීන් උදාහරණ ලෙස ඉදිරිපත් කළා. ඒ ජාතීන් දෙස බලා, ඔවුන් අයුරින් වැඩ කර, අපේ ජාතිය නගා සිටුවන්න, කියා පැවසුවා. ඇතැමුන් පසු කලක මෙම පැවසීම් අන් ජාතීන් හෙලා දැකීමට අසිපතක් සේ යොදාගත්තා. ඒ නිසා එතුමාගේ සතුරන් එතුමා දැඩි ජාතිවාදී මතවාදයක් තිබුණේකු යැයි  පැවසුවා. මේ දෙකොටසෙන්ම එතුමාට සිදුවුයේ අසාධාරණයක්.  

දෙවනුව, එතුමා සිංහලයන් තුල ආත්ම අභිමානයක් ඇතිකිරීමට ඇතිකිරීමට අපගේ ඉතිහාසය පිළිබඳව  මතක් කළා. අතීත රජ දරුවන් තනපු වැව්, දාගැබ් පිළිබඳවද, සිංහලයන් පෞඪ ලෙස ජීවත්වූ ආකාරය පිළිබඳවද, ථෙරවාදී බුදුදහම රැකි ආකාරයද සඳහන් කලා. ඒ වගේ ම මහාවංශය වැනි ඉතිහාස  ග්‍රන්ථ පිළිබඳවත්, ඉන්දියාව සමග තිබු සබඳකම් පිළිබඳවත් එතුමා සදහන් කලා. ඒ වගේම එතුමා නිතරම අද බොහෝ ජාතික වාදීන් පිළිකෙව් කරෙන  “ආර්ය සිංහල” යන වචනය නිතර භාවිතා කලා. ඒ ආර්යයන්ට උසස් ගති පැවතුම් තිබිය යුතුයැයි පැවසීමට හා උතුරු ඉන්දියාව සමඟ සිංහලයන්ගේ ඇති වාර්ගික, ආගමික, සංස්කෘතික හා භාෂාමය සම්බන්ධකම් හුවා දැක්වීමටයි. අද ඇතැමුන් සිංහලයන්ට හැදින්වීමට භාවිතා කරන “හෙළ” වචනය එතුමාගේ ශබ්දකෝෂයේ තිබුනේ නැහැ. අතීත ප්‍රෞඩත්වය ගැන සඳහන් කිරීම එම යුගයේ බටහිර අධිරාජ්‍යවාදීන්ට තැලී සිටි රටවල ජනතාව පිබිදවීමට බොහෝ ජනනායකයන් භාවිතාකල ප්‍රධාන අවියක්. එහි ඇති වරදක් නැහැ.  

තුන්වනුව, එතුමා අතීතය සහ වර්තමානය සඳහන්කොට ලංකාව ඉදිරියේ දී පැවතිය යුතු ආකාරය කුමක්ද කියා පැවසුවා. අද දක්වා අඩුවෙන්ම සාකච්ඡාවී ඇති, ඉදිරියේ ලංකාව යායුතු දිශාව සම්බන්ධව එතුමා සඳහන් කලදේ පිළිබඳව කරුණූ සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. 

දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා

මෙහිදී එතුමා උපත ලැබූ පවුල් පසුබිම පිළිබඳ ව කථා කිරීම වැදගත්. එතුමාගේ පියා දොන් කරෝලිස් හේවාවිතාරණ මැතිතුමා උගතෙක්. ජෝතිෂ්‍යය හා සිංහල භාෂාව පිළිබඳව හොඳ දැනුමක් තිබූ අයෙක්. ඔහු මාතර සිට කොළඹට පැමිණ ව්‍යාපාරයක් පටන් ගත්තා. එවකට ලංකාවේ ගෘහ භාණ්ඩ තැනීමේ ව්‍යාපාරයන් තිබුණේ බ්‍රිතාන්‍යන් සතුව. ඔහු එම ව්‍යාපාරයන්ට අභියෝග වෙන ආකාරයට දොන් කරෝලිස් නමින් ගෘහ භාණ්ඩ ව්‍යාපාරයක් ආරම්භ කලා. එම ව්‍යාපාරයේ නිපදවන ලද ගෘහ භාණ්ඩ බ්‍රිතාන්‍යට අපනයනය කිරීමේ මට්ටමට ඉහල නැංවුවා. අද දක්වාම ගෘහ භාණ්ඩ නිපදවන මෙම සමාගම එමගින් පෙන්නුම් කරන්නේ මොන තරම් ප්‍රබල පදනමක් මෙම ව්‍යාපාරයට තිබුණාද කියලා. එවැනි නිපැයුම්කරුවන්ගේ පවුලක උපත ලද ධර්මපාලතුමා රටේ අනාගතය නිෂ්පාදන ආර්ථිකයක් තුලින් සරුසාර කරගැනීම පිළිබඳව බොහෝ දේ ප්‍රකාශ කළා. 

නිෂ්පාදන ආර්ථිකය

අනගාරික ධර්මපාලතුමා දියුණු චින්තනයක් තිබුණු උතුමෙක්. එතුමාගේ චින්තනයේ  අනාගතය වෙනුවෙන් ඇති කොටස අපි මෙහි දී හුවා දැක්විය යුතුයි. 1911 සැප්තැම්බර් මස 9 වැනි දින සිංහල බෞද්ධයා පත්‍රයෙහි “ස්වරාජ්‍ය පාලනය”  යනුවෙන් දක්වා තිබෙන ලිපියෙහි  ලංකාව අනාගතයහි කුමන  ආකාරයකට දියුණු කරගත යුතුද යන්න ධර්මපාලතුමා සඳහන්   කරනවා. ඒ මෙසේය.

“ශිල්ප කර්මාන්ත ඉගනීමට වීර්ය ගත යුතුය. ලංකාවේ දිසාපාමොක් ආචාරින් දැනට නැත. ශිල්ප ශාලා ද නැත. මේ නිසා ශිල්ප ශාලා තිබෙන රටවලට ගොස් ශිල්ප  කර්මාන්ත ඉගෙනගත යුතු ය. ශිල්ප කර්මාන්ත, විද්‍යා දැන ගෙන සිටින ජාතීන්  වර්ධනය වි සිටින බව අපට පෙනෙන්නට තිබේ “.

එතුමා නිතරම ජපන් ජාතිය අගය කළා . එතුමා හතර වතාවක් ජපානයට ගොස් තිබෙනවා 1889, 1893, 1902 සහ 1913 වර්ෂවල. ජපානයේ ඒ කාලයේ ඇතිවෙමින් තිබු ආර්ථික පුනරුදය  පිළිබඳව එතුමා මෙසේ සඳහන් කර තිබෙනවා.

” වර්ෂ 1870 දි ජපන් ජාතිකයින් ගැන යුරෝපීය ජාතිකයින් කිසිත් දැනගෙන නොසිටියේය. ඒ වර්ෂයේදි කුලීන ජපන් මහතුන් හැත්තෑ දෙනෙක් පමණ දේශ සංචරණය පිණිස ජපන් රටින් පිටව ඇමරිකා, එංගලන්ත, ප්‍රංශ, ජර්මනිය, අවුස්ත්රියා හා රුසියාව යන රටවල් බලා, ඒ රටවල තිබෙන මනුෂ්‍ය ජාතීන්ගේ ශිලාචාර බලා ධර්ම ශිල්ප, විද්‍යා ආදිය පවතින හැටි විභාග කර  බලා, ජපන් රටට සම්ප්‍රාප්තව මේ මේ හැටි කටයුතු යයි යෝජනා කොට, යුරෝපීය ශිල්ප බාල පරම්පරාවට ඉගැන්වීමට ආරම්භ කළෝය “.1911 තරම් ඈත කලකදී එතුමා සඳහන් කලා, යුරෝපයට ගොස්, ඔවුන්ගේ ශිල්ප කර්මාන්තය ඉගෙන, ලංකාවට පැමිණ ලංකාවේ කර්මාන්ත ශාලා ආරම්භ කල යුතුයි කියලා.  යුරෝපීයයන් ලංකාවේ භාෂාවට, ආගමට හා සංස්කෘතියට කල විනාශය හෙළා දුටුවාට, පිළිකෙවු කලාට, බටහිර ජාතින්ගෙන්  ශිල්ප උගත යුතුය කියන මතයේ එතුමා  සිටියා. අද ඇතැම් මුග්ධ දේශප්‍රේමීන් බටහිර ශිල්ප ශාස්ත්‍ර පිළිකෙව් කරනවා. සෑම යුරෝපීය කර්මාන්තයක් පිළිබඳව සැකෙන් බලනවා.අප රට පසුපසට යාමට එක් ප්‍රධාන හේතුවක් එයයි.

තවද එතුමා මෙසේ ලිවුවා.

“මේ ශිෂ්‍ය සමූහයා නා නා භාෂා ඉගෙන ගෙන, නානා ශිල්ප කර්මාන්ත ඉගෙන ගෙන ජාත භූමියට පැමිණ ස්වජාතිකයින් දියුණු කිරීමට ආරම්භ කළෝ ය. යුරෝපීය කර්මාන්ත ශාලාවල සාදන ද්‍රව්‍ය ජපන්වරු පටන් ගත්තෝය. වර්ෂයක් පාසා පිටරටවලින් ස්වකීය රටට ධනය ගෙන යනු ලැබීම ස්වජාතිකයින්ට අලාභයකි. රටක් දිළිඳු වීමට හේතු වන්නේය. රට වාසීන් ශිල්ප කර්මාන්ත නොදැන තමන්ට ඕනෑ කරන ද්‍රව්‍ය පිටරටවලින් ගෙන්වා ගැනීම තමන් දිලිඳු වීමට හේතු වන්නේය”. අදටත් අපි මේ රටේ වැදගත් කිසිම දෙයක් නිෂ්පාදනය කරන්නේ නැතිව පිටරටවලින් යැපෙමින් සිටිනවා. වර්තමානයේ අපි මුහුණ පා තිබෙන දුර්භාගය සම්පන්න තත්ත්වයට එක් හේතුවක් මෙයයි.

සීඒ, එඩ්මන් සහ සයිමන් සහෝදරයන්

එතුමා ලිවීමෙන් සහ කතාවෙන් නො නැවතී, කර්මාන්ත ශාලා ඇතිකිරීමට වැඩ කලා. එහි දී එතුමාට සහාය දැක්වුවේ, එතුමාගේ සහෝදරයා වන චාල්ස් හේවාවිතාරණ කියන විශේෂඥ වෛද්‍යවරයා යි. 1906 දී රාජගිරියේ ඉඩමක් මිලදී ගෙන ලංකාවේ පළමුවෙන කාර්මික විද්‍යාලය ඇරඹුවා. 1912 දී රාජගිරියේ හේවාවිතාරණ කාර්මික විදුහල හා පේෂකර්මාන්ත මධ්‍යස්ථානය ඇරඹුවා. ලංකාවේ විවිධ ස්ථානවල රෙදිපිළි කර්මාන්ත ශාලා, ගිනි පෙට්ටි කර්මාන්ත ශාලා සහ  පිඟන් කර්මාන්ත ශාලා එතුමාගේ මුලිකත්වයෙන්  ආරම්භ කලා. 1906 දී එතුමාගේ පියා පවුම් 2000 ක අරමුදලක් පිහිටුවා ලංකාවේ තරුණයන් ජපානයට යවා රෙදිපිළි නිෂ්පාදනය පිළිබඳව  හැදෑරීමට සැලස්වූවා. හේවාවිතාරණ කාර්මික විද්‍යාලය නමින් කාර්මික විද්‍යාලයක් ආරම්භ කර තරුණයන්, විවිධ කර්මාන්ත වලට පුහුණු කළා. ලංකාවේ පළමු කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වීමට එතුමා මුල් වුවා.  

චෞර ධනවතුන්

“ස්වරාජ්‍ය පාලනය” ලිපියේ, ලංකාවේ ධනවතුන් සම්බන්ධයෙන් එතුමා එදා කරපු ප්‍රකාශය අදටත් ගැළපෙනවා.”මෙරටට ගෙනෙන ද්‍රව්‍ය ගැන කල්පනා කල යුතුයි. රෙදිපිළි, කඩදාසි, පිඟන්, කෝප්ප, කඩදාසි,  තීන්ත, පෑන්, ඔරලෝසු, ලාම්පු, පැදුරු, ලී බඩු යන සියල්ලක් ම පිටරටින් ගෙන එනු ලැබේ. අපේ ලංකාවේ ධනවතුන් පමණ, අඥාන කොටසක් ලොව නැත. ධනවතුන් වී සිටින අය, කෙසේ ධනය  සම්පාදනය කර ගෙන තිබේ ද? අන්‍ය රටවල ධනවතුන් පිටරට ගොස් වෙළදාම් කොට ධනය රැස්කොට ගනිති. තවත් සමහරක් කර්මාන්ත ශාලා පිහිටුවා නා නා ද්‍රව්‍ය විකුට ධනය රැස්කර ගනිති. තවත් සමහරක් ආහාර පාන, ප්‍රනීත භෝජන සාදා ඒවා විකුට ධන එක් රැස් කර ගනිති. තවත් සමහරක් ප්‍රඥාව මුල් කොට ගෙන ආශ්චර්ය, අද්භූත යන්ත්‍ර සාදා ධනය රැස් කර ගනිති. ඇතැම් සිංහල ධනවතුන් මේ කිසිත් නොකොට මිත්‍යා ආජීවයෙන් හරක් මරවා, මස් මරවා, මත්පැන් සාදවා, මත්පැන් පානය කිරීමට සුරාසැල් සාදවා, ධනය රැස්කර ගනිති”.  “දරිද්‍ර  සිංහලයාට හිංසාකොට ලංකා භූමියෙන් සපයන ධනයෙන්වත් සිංහලයා කරණ යහපත කුමක්ද? යුරෝපීයන්ගේ චාරිත්‍රානුකූලව වෙස් පෙරලාගෙන, යුරෝපීයන්ගේ ඇඳුම් ඇඳ, අත තිබෙන ධනය වියදම් කොට, කාම සුඛල්ලිකනුයෝගිව කාලය  ගත කිරීමයි.” එතුමා එකල ඉදිරිපත් කල මේ ප්‍රශ්න අද  ලංකාවේ ධනවතුන්ගෙන් අප විමසිය යුතුයි. අද අපේ ධනවතුන්ගෙන් බොහොමයක් මෙන්න මේ වගේ මිථ්‍යා ආජීවයෙන්, වැරදි ජීවිත පැවැත්මෙන් ධනය උපයන අය. අද රාජ්‍ය දේපොළ, ධනය සොරකම් කිරීම, අල්ලස් කොමිස් ගැනීම, බදු වංචා කිරීම ධනවත්වන ප්‍රධාන ක්‍රියාවන් වෙලා තිබෙනවා. මේ ක්‍රියා බුදුදහමට අනුව අපාගතවන මිත්‍යා ආජිවයන් යැයි කෙලින් කියන්නට, ධර්මපාලතුමා මෙන් කිසි කෙනක් ඉදිරිපත්වන්නේ නැහැ.එහෙම කිවුවොත් මෙයින් ටික දෙනක් හරි අපායට යන්න බයෙන් ඒවා නොකර හිඳීවි.ධර්මපාලතුමාගේ 1911 දී නඟපු ඒ හඬ නැඟිය යුතු කාලය නැවත පැමිණ ඇති බව තමයි මම සිතන්නේ.

අමතක කෙරුණු චින්තනය

එතුමාගේ මෙම දර්ශනයේ මෙම කොටස කොහොමද අපි ට මග හැරුණේ? අපට එය  මග හැරුණා නොව, එය මග හැරෙව්වා.1912 දි ලංකාවේ සුරාබදු පනත බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වාදුන් විට එයට විරුද්ධව අමද්‍යප ව්‍යාපාරය නමින් විශාල ජනතා සංවිධානයක් ඇතිවුනා. මෙම අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කලේ ධර්මපාල මැතිතුමා වූවාට, එය තුලින් අවසාන වශයෙන් එය තිරයට ආවේ වෙනත් කොටසක්. 1915 දි ලංකාවේ සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති වුනා.ඒ සමගම පළමු ලෝක සංග්‍රාමය ආරම්භ වුවා. මෙම සිද්ධීන් වනවිට අනගාරික ධර්මපාලතුමා සිටියේ ඉන්දියාවේ කල්කටා නුවර. බ්‍රිතාන්‍යයන් අනගාරික ධර්මපාලතුමා ගැන විශේෂයෙන්ම බියට පත්වුවා, එතුමා සංග්‍රාම කාලයේ ලංකාවට පැමිණිලා නැවත උද්ඝෝෂණය කර, ලංකාව නිදහස් කර ගැනීමට උත්සාහ දරාවි කියලා. ජපානය සමඟ එතුමාගේ සම්බන්ධයත් ඔවුන්ගේ බිය වැඩිකලා. එනිසා ඔවුන් 1915 සිට 1919 දක්වා වසර හතරක කාලයක්  එතුමා කල්කටාවේ මහාබෝධි මුලස්ථානයේ නිවාස අඩස්සියේ තැබුවා. එය වටලා අත්අඩංගුවට ගත් ලිපි කියවූ බෙංගාල පොලිස්පතිවරයා මෙසේ  රහස් වාර්තාවක් ලියුවා.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල (අසුන්-මැද) කල්කටාවේ මහාබෝධි සමිති මූලස්ථානයේ

“බ්‍රිතාන්‍ය විරෝධී අදහස් ඇතිව ලංකාවට ආපසු එතැයි යන විශ්වාසය ඇතිව සිංහල තරුණයන්ට තාක්ෂණ අධ්‍යාපනය ලබාදීම සඳහා ජපානයට යැවීමේ වැඩපිළිවෙලේ ප්‍රධානියා මොහු බව පෙනේ. ජපනුන්ගේ මාර්ගයෙන් ජර්මානු හා ඉන්දීය පක්ෂ කටයුතු කිරීමට අදහස් කරන අතර එම පක්ෂ සැලස්වීමේදී ධර්මපාල ලවා වැදගත් කොටසක් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන බව පෙනී යයි “. එම නිසා එතුමා නිවාස අඩස්සියෙන් මුදාහැරියේ නැහැ.

පළමු ලෝක සංග්‍රාමය අවසන්වූ පසු එතුමා නැවත ලංකාවට පැමිණෙනවිට අමද්‍යප ව්‍යාපාරය වෙනත් අය අත්පත් කරගෙන තිබුණා. ස්වරාජ්‍ය පාලන සිහිනය තවත් වසර තිහකට කල්ගියා. නිදහස දිනාගැනීම ජනතා සහභාගිත්වයක් නොමැතිව සිදුකල යුතුයැයි සිතන, ජන සටන් වලට බය පිරිසක් ලංකාවේ ජනනායකයන් බවට පත්වුවා. ජන සහභාගිත්වයෙන්, දේශමාමකත්වය ඉස්මතු කරමින් සිදුවුණු අධිරාජ්‍ය විරෝධී ඉන්දියානු නිදහස් සටනින්, ලංකාවේ නිදහස් සටන වෙන්වුනා. 1915 පෙර විසි තිස්දහස් ගණනින් පැමිණ එතුමාගේ දේශන ඇසූ අය සුළු පිරිසකට සීමා වුවා.

මෙම කරුණ සම්බන්ධව ගුණදාස අමරසේකර මැතිතුමා, එතුමාගේ “අනගාරික ධර්මපාල හා මාක්ස්වාදය”  කියන කෙටි කෘතියේ යම් පමණකින් සඳහන් කරනවා.බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් එතුමා “ජාතිවාදී, ආගම්වාදී උන්මත්තකයෙක්” ලෙස  හැඳින්වුවා. ලාංකික නායකයන් එතුමා අතීතය ගැන කථා කරන, අතීතයේ ජීවත්වන පුද්ගලයෙක් හැටියට හංවඩු ගැහුවා. එතුමාගේ ජීවිතයේ අවසාන භාගයේ එතුමා  දැඩි කලකිරීමකින් හිටියේ. අද ඇතැම් අය  එතුමාගේ පිළිරුව ඉදිරියේ තබාගෙන, එතුමාගේ දෙසුම්වල කොටස් අතැනින් මෙතැනින් ඇහිඳගෙන, අතීතය පමණක් මෙනෙහි කරමින් ජාතික අසමගිය වැඩි කරමින්, රට ඉදිරියට යෑම වලක්වනවා. අනෙක් අය එතුමා ජාතිවාදී, ආගම්වාදී, පසුගාමී චින්තනයක් තිබුණු උන්මත්තකයෙක් ලෙස සලකා අපහාස කරනවා. එතුමා චතුර ඉංග්‍රීසි කථිකයෙක් බවත්,බොහෝ රටවල  එතුමා පැවැත්වූ දෙසුම් අවසානයේ ලංකාවට උදවු කිරීමට බොහෝ බටහිරයන් පෙළඹුණු බවත්, අපගේ මතකයෙන් මකා දමා තිබෙනවා. බෞද්ධ රටවල රජ පවුල් සමඟ සමීප සම්බන්ධතාවයන් පැවැත්වූ එතුමා, එමගින්ද බොහෝ උපකාර ලබාගත්තා. 

වත්මන් පරාධීන සමය

අද  ලංකාව පරාධීන තත්ත්වයකට පත්කර ලෝකයට ණය වෙච්ච රටක් කරලා. විදේශිකයන් තමන්ට කැමති හැටියට අප රට කැබලි කරනවා. රටක් හැටියට අප පරාධීන යුගයක ඉන්නේ. අතීතය ගැන පමණක් කතා කර වැඩක් නැහැ. වර්තමානය අඳුරුයි. අප පරාධීන වී ඇති බව අප වත් දන්නේ නැහැ.

රට නඟා සිටුවීමට නම් දැන් අප නැවත ඉස්මතු කරල ගතයුත්තේ ධර්මපාල චින්තනයේ නවීනත්වය ගැන කියැවුණු දේ. අනාගාරික ධර්මපාලතුමා එම නවීනත්වය උදෙසා කරන ලද දෙසුම් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. එතුමා තරම් ලොවෙහි විවිධ රටවල දෙසුම් පැවැත්වූ සිංහල නායකයෙක් තවත් නැතිතරම්. එතුමා අනාගතය දුටු, ජාතියට ආදරය කරපු, තමන්ගේ ශක්තියෙන් නැගී සිටින ජාතියක් සහ දේශයක් ප්‍රාර්ථනා කරපු උතුමෙක්.  එය නැවත සොයාගෙන, ධර්මපාල තුමා සිහිපත් කරමින්, අප අපගේ අනන්‍යතාවය රැක ගනිමින්, හිස කෙලින් තබා,ලොවත් සමඟ ඉදිරියට ගමන් කල යුතුයි.

අනගාරික ධර්මපාලතුමාගේ සංවත්සර දේශනයක් ඇසුරෙන් සකස්කලේ සුජීව සෙනරත්

Leave a Reply