You are currently viewing අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුමන අරමුණක් උදෙසාද?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුමන අරමුණක් උදෙසාද?

රටේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම NPP රජයේ ප්‍රධානතම වැඩපිළිවෙළක් වන අතර, බලයට පත් වූ වහාම රජය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ‘පරිවර්තනීය’ වෙනස්කම් ඇති කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. අධ්‍යාපනය සඳහා වූ අයවැය ප්‍රතිපාදන දළ දේශීය නිෂ්පාදිතයෙන්  2% දක්වා වැඩි කර ඇත (2023 වසරේදී එය 1 .8% ක් විය). මෙම වැඩිවීම ප්‍රමාණවත් නොවුණද, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අලුතින් ගුරුවරුන් බඳවා ගැනීම, පාසල්වල පහසුකම් ඉහළ නැංවීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදිසි අවශ්‍යතාවක් ලෙස හඳුනා ගැනීම වැනි කටයුතු සඳහා රජය ප්‍රතිඥා දී තිබේ. මේවා සාදරයෙන් පිළිගත හැකි පියවරයන් වුවද, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපගේ අදහස් ප්‍රකාශ කරන්නේ දැඩි කනස්සල්ලකිනි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය අනුගමනය කළ ප්‍රවේශය හදිසි එකක් වූ අතර, එහි විනිවිදභාවයක් සහ මහජන අදහස් විමසීමක් ද දක්නට නොලැබිණි. 2026 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවේදනය නිකුත් කෙළේ 2025 ජූලි මාසයේදීය. 2025 අගෝස්තු මාසයේදී, මුලින්ම නිල නොවන මාර්ග හරහා ඒ පිළිබඳ විනිවිදක පෙළක් (‍slides) සංසරණය විය. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට තවත් මාස තුනක් පමණක් තිබියදී, එනම් 2025 නොවැම්බර් මාසයේදී ‘ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පරිවර්තනය කිරීම 2025’ නම් නිල ප්‍රතිපත්ති ලේඛනය නිකුත් කරන ලදී. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රැස්වීම් මාලාවක් පැවැත්වූවද, ඒ වන විටත් පාඨ මාලා ප්‍රකාශයට පත් කර තිබූ අතර ගුරු පුහුණු කටයුතු ද ආරම්භ කර තිබුණි.

නව අධ්‍යාපන ප්‍රතිපත්තියේ සංකල්පීය ප්‍රවේශය සහ එහි අන්තර්ගතය අතර පැහැදිලි නොගැලපීමක් දක්නට ඇත. විෂයමාලා ප්‍රතිසංස්කරණවල අරමුණු අතරට: ‘විචාරාත්මක චින්තනය’, ‘බහුවිධ බුද්ධිය’, ‘මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවේ සමාජීය හා දේශපාලනික වටිනාකම පිළිබඳ ගැඹුරු අවබෝධයක්’ ප්‍රවර්ධනය කිරීම සහ ‘සාධාරණත්වය, සියල්ලන් ඇතුළත් කරගැනීම සහ සමාජ සාධාරණත්වය පිළිබඳ අගයයන්’ ස්ථාපිත කිරීම ඇතුළත් වේ (පිටුව 9). එසේ වුවද, නව විෂය මාලාව සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර විෂයන් සඳහා ලබා දෙන්නේ අවම අවධාරණයකි. එමෙන්ම විචාරාත්මක චින්තනයට හෝ සමාජ සාධාරණත්වය අගයන පුරවැසියන් බිහි කිරීමට ඉන් වෙන් වන්නේ ඉතා සුළු කාලයකි.

ප්‍රාථමික මට්ටමේදී පරිසරය, ඉතිහාසය සහ පුරවැසි අධ්‍යාපනය වැනි විෂයන් ඉවත් කර ඇති අතර, කනිෂ්ඨ ද්විතීයික මට්ටමේදී පුරවැසි අධ්‍යාපනය සහ ඉතිහාසය සඳහා වාරයකට වෙන් කර ඇත්තේ පිළිවෙළින් පැය 10 ක් සහ 20 ක් පමණි. ‘අත්‍යවශ්‍ය විෂයන්’ සංඛ්‍යාව 15 දක්වා වැඩි කිරීම නිසා ගණිතය සහ භාෂාව වැනි මූලික විෂයන් සඳහා ඇති කාලය සීමා වී ඇත; කනිෂ්ඨ ද්විතීයික මට්ටමේදී ගණිතය සහ මව්බස සඳහා වාරයකට වෙන් කර ඇත්තේ පැය 30 ක් පමණි. වාර්ගික සහජීවනය ඇති කිරීමට රජය ප්‍රතිඥා දුන්නද, දෙවන ජාතික භාෂාව ඉගෙනීම සහ අපගේ ගැටුම්කාරී ඉතිහාසය පිළිබඳ ඉගෙනීම තවමත් ප්‍රමුඛතාවක් වී නොමැත. දැන් අත්‍යවශ්‍ය විෂයක් බවට පත් කර ඇති ‘ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව’ සඳහා වෙන් කර ඇති කාලය, දෙවන ජාතික භාෂාව, භූගෝල විද්‍යාව සහ පුරවැසි අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති කාලයට සමාන වේ. ජ්‍යෙෂ්ඨ ද්විතීයික මට්ටමේදී (සාමාන්‍ය පෙළ), සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍ර විෂයන් හුදෙක් වෛකල්පික විෂයන් පමණි. රජය ඉදිරිපත් කර ඇති අරමුණු සම්බන්ධයෙන් අවංකවම කැපවී සිටින්නේ නම්, සෑම ශ්‍රේණියකදීම ඉගැන්විය යුතු විෂයන්, ඒ සඳහා වෙන් කරන කාලය, විවිධ මට්ටම් හරහා ඒවායේ ප්‍රගතිය සහ සමස්ත විෂය මාලාව තුළ ඒවාට බර තැබීම පිළිබඳව බරපතල ලෙස නැවත සිතා බැලිය යුතුය.

මෙම ප්‍රතිසංස්කරණවල ඇති එක් සාධනීය අංශයක් වන්නේ වෘත්තීය පුහුණුව සඳහා ලබා දී ඇති වැදගත්කමයි. සිසුන්ගේ විෂය රුචිකත්වය, ඉගෙනුම් රටාව හෝ ඔවුන්ගේ විවිධ අවශ්‍යතාවල ඇති වෙනස්කම් හඳුනාගෙන ඒවාට සරිලන පරිදි සකස් කරන ලද විෂය මාලාවක් මගින් අධ්‍යාපනය වඩාත් බහුවිධ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වනු ඇත. කෙසේ වෙතත්, මෙම ‘වෙනස්කම්’ සැලකිල්ලට ගන්නා ආකාරය පිළිබඳව යම් විමසිලිමත් බවක් තිබිය යුතු අතර, එය වෘත්තීය පුහුණුවට පමණක් සීමා නොවී විෂය මාලාවේ සෑම අංශයකටම බලපෑ යුතුය.

උදාහරණයක් ලෙස, ඉතිහාස විෂය මාලාව මගින් ශ්‍රී ලංකාවේ මෑතකාලීන ඉතිහාසය මෙන්ම සුළුතර සහ කොන් කරන ලද ප්‍රජාවන්ගේ ඉතිහාසය ද ඇතුළුව, ඉතිහාසය පිළිබඳ පවතින විවිධ කියවීම් නියෝජනය කරන්නේද? පෙළපොත්වල දැක්වෙන පවුල් ව්‍යුහයන් සාම්ප්‍රදායික න්‍යෂ්ටික පවුල් සංකල්පයෙන් ඔබ්බට යන්නේ ද? මෙම අංශ පිළිබඳව ද අවධානය යොමු කිරීමෙන් සිසුන්ට තමන් විෂය මාලාව තුළ නියෝජනය වන බව හැඟෙන අතර, සාම්ප්‍රදායික මතවාද සහ අසාධාරණ බාධකවලින් තොරව තම පාසල් අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට ඔවුන්ට අවස්ථාව සලසා දෙනු ඇත.

ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියේ ඇති 6 වන ශ්‍රේණියේ මොඩියුල සඳහා වූ පෙළපොත් විධිමත් හෝ දැඩි විමර්ශනයකට ලක් කර ඇති බවක් පෙනෙන්නට නැත. ඒවායේ අක්ෂර දෝෂ බහුලව දක්නට ලැබෙන අතර, (කිසිම සඳහනක් නැතිව)  කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් ද ඇතුළත් වේ; විශේෂයෙන්ම සිසුන්ගේ සැබෑ අත්දැකීම්වලින් ඈත් වූ රූප රාමු ඒ අතර වේ. සමහර පෙළපොත්වල වැරදි සහගත හෝ නොමග යවන සුළු තොරතුරු අඩංගු වේ.

‘ගෝලීය අධ්‍යයනය’ පෙළපොතෙහි සමහර මුහුණුවර, කේශ වර්ණය සහ සමේ වර්ණය, විශේෂිත රටවල් සහ කලාප සමඟ සම්බන්ධ කර දක්වා ඇත. එමෙන්ම ආදිවාසී ජනතාව හැඳින්වීම සඳහා එම ප්‍රජාවන් විසින් බොහෝ කලකට පෙර ප්‍රතික්ෂේප කරන ලද අපහාසාත්මක පද (නිදසුනක් ලෙස: “පිග්මි” “එස්කිමෝ”) භාවිතා කර ඇත. නයිජීරියානුවන් නිරූපණය කර ඇත්තේ දිළිඳු, කෘෂිකාර්මික සහ විදුලිය පවා නොමැති ජනතාවක් ලෙසය.

‘ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව’ පෙළපොත මගින් සිසුන්ට හඳුන්වා දී ඇති ‘ලොව සුපතළ ව්‍යවසායකයන්’ වැඩි පිරිසක් පිරිමින් වන අතර, එහිදී සාර්ථකත්වය යන්න හුදෙක් ව්‍යාපාරික දක්ෂතාවය සමඟ පමණක් සමපාත කර ඇත. මෙවැනි අන්තර්ගතයන්, ප්‍රතිපත්තියේ සඳහන් කර ඇති “සාධාරණත්වය, ඇතුළත් කරගැනීම සහ සමාජ සාධාරණත්වය පිළිබඳ අගයයන්” යන කැපවීමට සෘජුවම පටහැනිය. අපේ පෙළපොත්වල තිබිය යුතු වන්නේ මෙවැනි අන්තර්ගතයන්ද?

9 වන ශ්‍රේණිය අවසානයේදී යෝජනා කර ඇති ‘වෘත්තීය රුචිකත්ව පරීක්ෂණය’ අතිශයින්ම ගැටලු සහගතය. ද්විතීයික අධ්‍යාපනයෙන් ඔබ්බට පවතින වෘත්තීය මාවත් තවමත් නිසි ලෙස සංවර්ධනය වී නොමැති තත්ත්වයක් තුළ, වයස අවුරුදු දාහතරක දරුවන්ට තම වෘත්තීය මාවත තෝරා ගැනීමට මග පෙන්වීම නුසුදුසුය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වෘත්තීන්හි පවතින අධික ස්ථරීභූත ස්වභාවය (highly stratified nature) සැලකිල්ලට ගත් විට, වෘත්තීය මාවත්වලට බලපාන අධ්‍යාපනික තෝරාගැනීමට පෙර තම රුචිකත්වය ගවේෂණය කිරීමට සිසුන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුය.

තවද, කිසියම් සමාජ පසුබිමකින් පැමිණෙන සිසුන් ඔවුන්ගේ දෙමාපියන්ගේ වෘත්තීන් හෝ ආර්ථික තත්ත්වය මත පදනම්ව හිතාමතාම යම් අධ්‍යයන මාවත්වලට යොමු නොකිරීම සහතික කිරීම සඳහා විෂය මාලාව මගින් රැකියා සහ වෘත්තීන් පිළිබඳ පවතින ආකෘති ගත මතවාදයන්ට  අභියෝග කළ යුතුය; එමෙන්ම ඔවුන් ස්ත්‍රී-පුරුෂ භාවය සමාජ භාවය මත පදනම් වූ වෘත්තීය  පිළිබඳ පටු හැඟීම්වලට ද කොටු නොවිය යුතුය.

මෙම පාඨ මාලා මගින් ඩිජිටල් සාක්ෂරතාව සහ නව සන්නිවේදන තාක්ෂණයන් සඳහා සිසුන් යොමු කිරීම දිරිමත් කරයි. මතුපිටින් බලන කල, මෙම පියවර ප්‍රගතිශීලී මෙන්ම කාලෝචිත බවක් පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත්, ඩිජිටල්කරණය අවිචාරයෙන් වැළඳ ගැනීමට පෙර, ඒ සඳහා ඇති ප්‍රවේශය, අන්තර්ගතයේ ගුණාත්මකභාවය සහ වයසට ගැළපෙන බව වැනි කරුණු කිහිපයක් පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතුය.

සන්නිවේදන තාක්ෂණය සදාචාරාත්මකව සහ වගකීම් සහගත ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව සියලුම ගුරුවරුන් දැනුවත් නොවිය හැකිය. බොහෝ පාසල්වල මූලික යටිතල පහසුකම් පවා නොමැති තත්ත්වයක් තුළ, ‘ඩිජිටල් පරතරය’ ඉතා තදින් බලපානු ඇත. සියලුම සිසුන්ට ඩිජිටල් උපකරණ ලබා දෙන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙහිදී පැන නගින අතර, එහි බර නිසැකවම දෙමාපියන්ගේ කර මත පැටවෙනු ඇත. මෙම ගැටලු හේතුවෙන් සම්පත් සහිත පාසල් සහ අනෙකුත් පාසල් අතර ඩිජිටල් සාක්ෂරතාවයට මෙන්ම පොදුවේ අධ්‍යාපනයට ඇති ප්‍රවේශයේ පරතරය තවදුරටත් පුළුල් වනු ඇත.

අධ්‍යාපන විෂය මාලාව සංකල්පගත කිරීම, සංවර්ධනය කිරීම, ලිවීම සහ සමාලෝචනය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනයට ය. රටේ අධ්‍යාපන ක්‍රමයට සහාය වීමේ උදාර අරමුණ ඇතිව මෙම ආයතනය පිහිටුවනු ලැබුවද, දැනට ජාතික අධ්‍යාපන ආයතනය අවශ්‍ය පහසුකම්වලින් තොර සහ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති ආයතනයක් බව පෙනෙන්නට තිබේ. එසේම විෂය මාලා සහ පෙළපොත් ලිවීම, සංවර්ධනය කිරීම සහ සමාලෝචනය කිරීම සඳහා අවශ්‍ය අත්දැකීම් සහ විශේෂඥ දැනුම ද එහි හිඟ බව පෙනී යයි. ජාතික අධ්‍යාපන ආයතනයේ ව්‍යුහය සහ එහි කාර්යභාරය නැවත සමාලෝචනය කර යළි පණ ගැන්වීමට අවශ්‍ය බව දැන් පැහැදිලිය.

මෙම ගැටලු සැලකිල්ලට ගනිමින්, 6 වන ශ්‍රේණිය සඳහා වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 2027 වසර දක්වා කල් දැමීමට මෑතකදී ගත් කැබිනට් තීරණය සාදරයෙන් පිළිගත හැකිය. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් විපක්ෂය, ගුරු සහ ශිෂ්‍ය සංගම් වෙතින් දැඩි විරෝධයක් එල්ල වී ඇත. ඉන් වැඩි ප්‍රමාණයක් සාධාරණ ලෙසම එල්ල වී ඇත්තේ මෙම ක්‍රියාවලියේ පවතින විනිවිදභාවය සහ අදහස් විමසීමේ හිඟකම මෙන්ම අන්තර්ගතයේ ගුණාත්මකභාවය සහ හරය පිළිබඳවය. මෙම විරෝධතා අතරතුර, අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව එල්ල වන ඉතා ගැටලු සහගත ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය මත පදනම් වූ සහ ස්ත්‍රී ද්වේෂී ප්‍රහාරයන් ද අපට දක්නට ලැබේ.

කෙසේ වෙතත්, නව විෂය මාලාවේ පවතින ගැටලු, අධ්‍යාපන ක්ෂේත්‍රය සහ රාජ්‍ය යාන්ත්‍රණය වෙළාගෙන ඇති දිගුකාලීන සහ පද්ධතිමය දෝෂයන්ගේ පිළිබිඹුවක් ලෙස අපි හඳුනා ගනිමු. අධ්‍යාපනය සඳහා වූ රාජ්‍ය ප්‍රතිපාදන වසර ගණනාවක් තිස්සේ කප්පාදු කිරීම, බාහිර ආධාර දෙන ආයතන විසින් පනවන ලද කොන්දේසි සහ ඒ හේතුවෙන් රාජ්‍ය ආයතන පිරිහීමට ලක්වීම යන කරුණුවල ප්‍රතිඵලයක් වූ පැරණි විෂය මාලාවේ දෝෂ සහ එහි අඩංගු ප්‍රශ්නකාරී කරුණුවලින් බැහැරව මෙම ගැටලු දෙස බැලිය නොහැක. NPP රජය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමේදී, එම ප්‍රතිසංස්කරණ සඳහා වඩාත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් සැකසෙනු ඇතැයි ද, මින් පෙර ප්‍රතිසංස්කරණයන්හිදී නොසලකා හරින ලද ගැටලු කෙරෙහි අවධානය යොමු වනු ඇතැයි ද යන අපේක්ෂාව අප තුළ පැවතිණි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, පහත අත්සන් කරන අපි, රජය විසින් පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස දැඩි ලෙස ඉල්ලා සිටිමු.

Leave a Reply