නව සමාජයකට මුල පුරමු..

අප රටට නිදහස ලැබී අවුරුදු 74ක් වෙමින් පවතී. වයස 74ට වැඩි සියලූ දෙනා මරණයේ නිදහස අපේක්ෂාවෙන් සිටිති. වයස 50ට වැඩි අය නිදහස් රටක ඉපදුණාත් බේත් හේත් නිසාම දිවි රැකගෙන සිටිති. බාලයන් නොවන සෙසු පිරිස ජන සමාජයේ පැවැත්ම සඳහා උපයමින් සිටිති. ඔවුන් එය කෙතරම් තෘප්තියකින් කරත් ද යනු සමීක්ෂණයකින් එළි විය යුතු ය. බාල පරපුර මේ සමස්ත ජීවිතයට පුරුදු පුහුණු වෙමින් සිටිති.

අපේ රටට නිදහස ලැබී මෙතරම් කල් ගෙවී ඇතත් රටම විවිධ ලෙඩ රෝග වලින් පිරී ඇත. එනම් සෞඛ්‍යයෙන් අප නිදහස් නැත. වැඩි දෙනා දිවි රැකගැන්මට අධික ලෙස බෙහෙත් භාවිතා කරන බව බොරුද?.  සමහරුන් උපයන දේ බෙහෙත්වලට මදි බව අසත්‍ය ද?  ඒ බෙහෙත් අපට ලබා දී ඇති සෞඛ්‍යය තත්වය නොවේ ද? ඒ සඳහා කී වරක් අප ඡන්දය ලබා දී තිබේ ද? අවුරුදු 74ක් නැතිනම් උපන් දා සිට අප රැවටිල්ලකට අසුවී සිටින බව අපට නොදැනේ.

මේ වන විට රට දිළිඳු කමින් ඉහළ ගොස් ඇති බව පසුගිය සමයේ රු. 5000 දීමනාව පවුල් කීයකට දෙන්න සිදු වුණා ද යන කරුණෙන් පැහැදිලි විය යුතුය. එතරම් ලක්ෂ ගණනකට රු.5000 දුන් බව උජාරුවෙන් පවසන අය ඒ නැතිබැරිකම 1948 සිට ඇති කරපු අය බව කී දෙනෙක් සිතා බලත් ද? සමහරු ඒ ගැන පින් දුන් බව සැබෑය. එහෙත් ඒ පින ලැබෙන්නේ අප දිළිඳු බවට පත් කළ අයටම ය. එය මේ යුගයේ ඛේදවාචකය යි. එනම් රට පරිහානියට පත් කළ, අපට මේ විපත්කර ජීවිතය උදා කළ අයට පින් දෙන, ඡුන්දය දෙන තත්වයට පත් වීමයි. දිළිඳුකම, නැතිබැරිකම, ඇති වන්නේ කෙසේද? අසමානත්වය, අසාධාරණත්වය, පවත්වා ගැනීම ඊට මූලික හේතුව ය. ලෝකයේ හෝ රටක නිපදවිය හැකි ආහාර ප‍්‍රමාණය ලෝකයේ හෝ ඒ රටේ ජනතාවට ප‍්‍රමාණවත් ය. එය බෙදා හදා ගන්නා ක‍්‍රමයක් නැත. ඇත්තේ බදා ගන්නා ක‍්‍රමයකි. මේ තත්වය ගැන එක වචනයක් කතා නොකර කර බාගෙන සිටින තුරු සුළු කොටසක් තිබෙන තරම් සම්පත් බදා ගෙන කනු ඇත.

මේ තත්වය නැති කිරීමටය කියා ඇති කළ යම් කි‍්‍රයා මාර්ග පැලැස්තර වැඩ පමණි. එනම් ජනසවිය, සමෘද්ධි ආදිය විරෝධය මැඩ නිහඬ කිරීමට යෙදුණ වැඩ මිස ප‍්‍රශ්නයට තිරසාර පිළියමක් නොවේ. එම වැඩ සටහන් පටන්ගෙන අවුරුදු කීයක් ගතවී ඇත්ද? එම ‘සහන’ ලැබු අය එම තත්වයනේ මිදී සිටිත් ද? ඒ අතර සමාජයේ වරප‍්‍රසාද ලත් පන්තියේ අයට අඩු පාඩු සිදුවී තිබේ ද? එය මේ බදා ගෙන කෑමේ ක‍්‍රමය පවත්වාගෙන යාමට ඇටවූ උගුලක් බව වටහා ගැනීමට එය පැවතුණු අවුරුදු ගණනේ ප‍්‍රතිඵලය ගණනය කළ යුතුය.

ඒ ආර්ථික පිරිහීම ය. සංස්කෘතික පිරිහීම අතිශය භයානක ය. මක් නිසාද? බාල, මහලූ, තරුණ සියලූ දෙනාම එහි ගොදුරු බවට පත්ව ඇති නිසා ය. අනාගත පරපුර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම අධික අතර, හොරකම්, මංකොල්ල ආදියට ද යොමු වෙති. කීප දෙනකුට නීතියෙන් දඬුවම් දීමෙන් පලක් නැති බව මේ වන විට ඔප්පුවී ඇත. නීතියට බියෙන් මත්ද්‍රව්‍ය නවතිනවානම් මේ වනවිට මත්ද්‍රව්‍ය තුරන්වී තිබිය යුතුය. දිනපතා තොග ගණන් අල්ලන්නේ එය කෙළවරක් නැතිව සිදුවන දෙයක් වී ඇති නිසාය.

හොරකම්, මිනී මැරුම්, කොල්ලකෑම්, නීති මගින් නැති කළ නොහැකිය. එය කුඩා කාලයේ සිට දෙන අධ්‍යාපනයෙන්, හැදියාවෙන් එම විසම ආකල්පය නැති කිරීමේ පුරුදු මගින් පටන්ගත යුතුය. නිවෙස්වල සිට මේ පුරුදු ඇති කර ගැනීමේ අධ්‍යාපන ක‍්‍රමයක් සංවර්ධනය කිරීමට කාලය පැමිණ ඇත. පාසල් අධ්‍යාපනයෙන් සිදු වන්නේ කුමක් ද? පුරාණයේ නම් ‘‘ශික්ෂණය’’ මුල් කොට ගත් ක‍්‍රමය අද වන විට ‘අධ්‍යාපනය’’ බවට පත්ව ඇත. එයින් හැදෙන්නේ ‘‘හොඳ වැටුප් ලැබෙන වහලූන් ය’’. දූෂණය, වංචාව, ඔවුන්ගේ කොල්ලකෑම ය. විභාග සමත් නොවී අතර මග පාසල් හැර යන්නෝ හොරකමට, කොල්ල කෑමට අවශ්‍ය අධ්‍යාපනය ලබා ඇත. මුදල් දේවත්වයෙන් සැලකෙන සමාජයක ඔවුන් මුදල් ඉපැයීමේ පහසු මං සොයා යාම පුදුම ද? වැඩි මහන්සියක් නැතිව විශාල මුදල් උපයන සුළු පිරිසක් සිටිනු දකින විට දිළිඳු, අධ්‍යාපනය අඩු තරුණයන් සමාජය කෙරෙහි වෛරයක් ඇති කර ගැනීම මේ සමාජ ක‍්‍රමයේම ප‍්‍රතිඵලයකි.

අනෙක් කරුණ සමාජයේ පවතින දරුණු දේශපාලන පරිහානිය යි. දැන් අවුරුදු 74ක් රට මේ තත්වයට ඇද හෙලූවෝ දේශපාලකයෝ ය. ඔවුන් පිල් බෙදී ජනතාව තම පිල්වලට බෙදා ගෙන රට, මේ තත්වයට ගෙනා බව බොරු ද? රටේ ජනතාව සුඛිත මුදිත කරන බවට දහසක් පොරොන්දු දෙති. දහසක් ව්‍යාපෘති පටන් ගනිති. කී සියයක් නම් විදේශ ආයෝජන සහිත කර්මාන්ත පටන් ගැනුණා ද? ඒ හැම එකකින්ම සුළු රැුකියා ප‍්‍රමාණයක් ලැබී ඇත. සුළු සංවර්ධනයක් ලැබී ඇත. 1978 න් පසු ආයෝජන කලාප නමින් ඇති කළ සංවර්ධනයෙන් ටික දෙනකු ජීවත්වන බව ඇත්තය. එහෙත් පවුල් ලක්ෂ ගනනක් රු. 5000 හිඟාකෑමේ තත්වයට පත්ව ඇත්තේ මක්නිසාද?

එසේ ඇතිකළ ව්‍යාපාර වලින් රට සංවර්ධනය වුණානම් මෙතරම් දිළිඳුන් සංඛ්‍යාවක් ඇතිවේ ද? දැන් කියන වරාය නගරය සංවර්ධනයෙන් ද ඉදිරියට ඇතිවන්නේ එවැනිම තත්වයක් බව නිසැක ය. එහෙත් සමාජයේ ටික දෙනකු තට්ටු ගෙවල්, යාන වාහන, සැප සම්පත් ඇතුව ජීවත් වෙති. එහෙයින් ඔවුන්ට මේ දේශපාලනය සදාකාලික සම්පතකි. ඔවුහු එකිනෙකාට බැණ ගනිති. පාලන බලය ලැබීමට සුදුස්සන් තමන්යයි කියති. අපි රැුවටෙමු. අවුරුදු 74ක්ම රැුවටුණෙමු. තව දුරටත් රැුවටීමට නියමිත ය.

ආගමික වශයෙන් ද අපි අන්තයටම පිරිහී සිටිමු. අතළොස්සක් සංඝයා හැර බහුතර හාමුදුරුවරු දහම අතින් පිරිහුණෝවෙති. ඒ පිරිහුණු පිරිස රටේ පාලන බලය, රටේ සම්පත් හොරා කන අයට දීමට අනුශාසනා කරති. සුඛෝපභෝගී දිවි පෙවතක් ගත කරමින් ගිහියන්ට වැදි බණ දෙසති. මේ රටේ පිරිහීමට මූලික වූ දෙදෙනා පූජකයා ද දේශපාලකයා ද වෙති. යහපත් දේශපාලකයන්, පූජකයන් සිටිතත් ඒ සුළු පිරිසට බලය නැත. ඔවුන්ට එසේ බලය නැතිවීම ගැනත් මෙරට ඡුන්ද දායකයන් වග කිය යුතුය. බත් පැකට්ටුවට, ටකරමට නොරැුවටෙන ඡුන්ද දායකයෝ සූකිරි වචන වලට බරසාර පොරොන්දු වලට රැුවටෙති.

එසේ නැත්නම් මේ භෞතික ලෝකයේ නොපවතින ජාතිවාදයට හෝ පරලොව සැපයට රැුවටෙති. ජාතිවාදයට රැුවටුණු සිංහල, දෙමළ සියල්ලෝ අපට තිස් අවුරුදු යුද්ධයක් ලබා දුන්හ. නිදහසින් පසු ඔවුන් නිර්මාණය කළ වැදගත්ම දේශපාලනය විනාශකාරී යුද්ධය යි.

විනාඩියකට ලක්ෂයක් වියදම් කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් හැසිරෙන ආකාරය අතිශය පිළිකුල් සහගත ය. කුණු හරුප පිරුණු කතාවෙන් එකිනෙකාට අපහාස කරමින් මොවුන් කරන්නේ ජනතාව සතු සම්පත් කාබාසිනියා කිරීම ය. ආණ්ඩුව විපක්ෂය යන දෙකටම මෙවැනි මන්ත‍්‍රීන් තව දුරටත් තෝරමු ද?

වේ වන විට ඉතා පැහැදිලි විය යුතු කරුණක් ඇත. එනම් යහපත් ජීවිතයත් සරුසාර රටක් ගොඩ නැගීම උදෙසා අප හැම දෙනාටම ඉතා සුළුවෙන් හෝ කළ යුතු දෙයක් ඇති බවය. ඒ අනිකක් නොවේ. මෙවන් කාළකණ්ණි පිරිසකට රටේ බලය නොදිය යුතුය. අප අලූත් සමාජ නිර්මාණයකට යා යුතුය.