Wasantha Dissanayake, Author at විවරණ නිදහස් සයිබර් අවකාශය Thu, 28 Jul 2022 23:56:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8 https://vivaranalk.com/wp-content/uploads/vivarana_site-icon_c2.png Wasantha Dissanayake, Author at විවරණ 32 32 ජන අරගලය -රනිල් ජනාධිපති වීමෙන් පසු..  https://vivaranalk.com/%e0%b6%a2%e0%b6%b1-%e0%b6%85%e0%b6%bb%e0%b6%9c%e0%b6%bd%e0%b6%ba-%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%80/ https://vivaranalk.com/%e0%b6%a2%e0%b6%b1-%e0%b6%85%e0%b6%bb%e0%b6%9c%e0%b6%bd%e0%b6%ba-%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%80/#respond Thu, 28 Jul 2022 23:53:02 +0000 https://vivaranalk.com/?p=5241 ජන අරගලය ජනාධිපති ගෝඨා ගෙදර යැවීය. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති නිල නිවස අරගලකරුවන් විසින් අත්පත් කර ගනු ලැබූ අතර පොලීසිය හා හමුදාව එකී ස්ථාන අතහැර ගියහ. එහෙත් සැබවින්ම ඒ පමණින් පාලන බලය වෙනස් වීමක් හෝ පාලනයේ බලය බිඳ වැටීමක් සිදු වූයේ නැත. අරගලකරුවන් ඒවා අත්හැරීමෙන් ඒ බව තවදුරටත් පෙන්නුම් කළේ ය. අර්බුදය […]

The post ජන අරගලය -රනිල් ජනාධිපති වීමෙන් පසු..  appeared first on විවරණ.

]]>
ජන අරගලය ජනාධිපති ගෝඨා ගෙදර යැවීය. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති නිල නිවස අරගලකරුවන් විසින් අත්පත් කර ගනු ලැබූ අතර පොලීසිය හා හමුදාව එකී ස්ථාන අතහැර ගියහ. එහෙත් සැබවින්ම ඒ පමණින් පාලන බලය වෙනස් වීමක් හෝ පාලනයේ බලය බිඳ වැටීමක් සිදු වූයේ නැත. අරගලකරුවන් ඒවා අත්හැරීමෙන් ඒ බව තවදුරටත් පෙන්නුම් කළේ ය.

අර්බුදය කොතෙක් තියුණු පැවතිය ද ජන අරගලය පෙර නොවූ විරූ විශාලත්වයකින් හා ජවයකින් යුතු ක්‍රියාන්විතයක්ව තිබුණ ද ජූලි 20 පාර්ලිමේන්තු ජනාධිපතිවරණයෙන් විසල් ජයක් අත්කර ගනිමින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් විය. ඔහු ලද ජයග්‍රහණය බිමේ ජන අභිලාෂයේ පැතුම හා යථාර්ථය නොවන නමුදු වත්මන් දේශපාලන සංග්‍රාම බිමේ ආසන්න යථාර්ථය වී ඇත්තේ එයයි. දේශපාලන වශයෙන් අනාථ වී සිටි පොහොට්ටු රෙජිමයට මේ මොහොතේ විශාල බහුතර ඡන්දයකින් වෙනත් මුහුණතකින් සිය බලය තහවුරු කර ගැනීමට හැකිව තිබේ.

අරගලකරුවන් ‘නෝ ඩීල් ගම’ ඉවත්කර ගනී..

ගෝල්ෆේස් අරගල බිමේ සටන්කරුවන් මෙම රෙජිමය පිළිනොගන්නා බව සහතික කර කීව ද මේ සිදුවීම් සමග දිග හැරෙමින් පවතින්නේ සටන්කාමී අරගලකරුවන් හුදකලා කළ හැකි අරගලයේ ඇතැම් කොටස්, අරගලයට සහය දුන් ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදීන් වැනි කොටස්, ඇතැම් වෘත්තික සංවිධාන, ඇතැම් පැවිදි කොටස් අරගලයෙන් විතැන් කළ හැකි තත්ත්වයකි. අරලියගහ මන්දිරය ඉදිරිපිට “නෝඩීල්ගම” උපවාසය අවසන් කිරීම හා “නෝඩීල්ගම”ඉවත් කර ගැනීම, රතු කුරුස සංවිධානය “ගෝඨාගෝගමින්” ඉවත්ව යාම, නුවර ගෝඨාගම පොලීසියට භාර දීම වැනි සිද්ධීන්ගෙන් සංකේතවත් කරන්නේ බොහෝ දුරට විය හැකි මේ තත්ත්වය යි. එසේම ජූලි 22 දින අළුයම ජනාධිපති ලේකම් කාර්යාලයේ හා අවට පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන් මර්දනකාරී බලහත්කාරයෙන් ඉවත් කිරීමෙන් ප්‍රකාශිත අරගලයට මුහුණ දීමේ රනිල් පාලනයේ උපායික ප්‍රවේශය මෙරට පමණක් නොව ජාත්‍යන්තරව පවා විරෝධයකට ලක් වුව ද අරගලයට බරපතල පසුබෑමක් ඇති කරන්නට පුළුවන. ඒ අභියෝගය ජය ගන්නට නම් අරගලය මෙතෙක් අනුගමනය කළ සිය උපායික ප්‍රවේශය සංස්කරණයකට භාජනය කිරීම ගැන බරපතල්ව සිතිය යුතුව ඇත.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් කිරීමෙන් ද අනුප්‍රාප්තික ජනාධිපති වශයෙන් තෝරාපත් කර ගැනීමෙන් ද පසු ඔහු රටේ පවතින අර්බුදයට යම් පිළියමක් සපයනු ඇතැයි ද දේශපාලන අස්ථාවරත්වය යම් පමණකට ජය ගනු ඇතැයි ද විශ්වාස කරන ප්‍රවනතාවක් සමාජයෙහි ඇතැම් කොටස් අතර පැතිර තිබේ.

මේ සියල්ල අරගලය තුළ පෙර පැවති ජන ආකර්ෂණය ද ගැම්ම ද යම් පමණකට බැස යාමට හේතු විය හැකි ය. එපමණක් නොව අරගලයේ අසංවිධිත භාවය ද අරගලකරුවන් අතරම පවතින විවිධ බාධාකාරී වෙනස්කම් ද අරගලයේ පෙර පැවති ජවයේ පසුබැසීමක් ඇති කරන්නට පුළුවන. යම් විශේෂිත තත්ත්වයක් පැන නැගුනහොත් මිස මේ තත්ත්වය තුළ “රනිල් ගෝ හෝම්” යන සටන් පාඨය “ගෝඨා ගෝ හෝම්” යන සටන් පාඨය තරම් ප්‍රබල එකක් නොවීමට ඕනෑ තරම් ඉඩ තිබේ.

එසේම රනිල් යනු ගෝඨා මෙන් ආධුනික පාලකයෙකු නොව අත්දැකීම් සහිත මර්දනීය ඉතිහාසයකට හිමිකම් කියන පාලකයෙකුය යන්න අමතක නොකළ යුතු ය. ඔහු අරගලය දියකර හැරීමේ හා බෙදීම් ඇති කර සටන්කාමී කොටස් හුදකලා කර අවසානයේ ඔවුන් දැඩිව මර්දනය කිරීමේ අඩු තීව්‍රතා ගැටුම් මර්දනීය උපක්‍රම අනුගමනය කරන බවක් පෙනෙන්නට තිබේ. ඔහු අරගලකරුවන් සාමකාමී අරගලකරුවන් හා කැරලිකාර ප්‍රචණ්ඩ අරගලකරුවන් යයි දෙකට බෙදා අනෙක් අරගලකරුවන්ගෙන් සටන්කාමී අරගලකරුවන් වෙන් කර මර්දනය කරන බව පැහැදිලිවම කියා සිටී. මෙය දැඩි අරගලකාරීන් මර්දනය කර සෙසු අරගලකරුවන් හීලෑකර නිහඬ කිරීමේ උපක්‍රමයකි. ගෝඨාභයට දැඩි මර්දනකාරී පාලනයක් ගෙන යාමේ උවමනාව තිබුණ ද එහිලා ඔහු සම්පූර්ණ අසාර්ථක පාලකයෙකු බව ඔප්පු කරමින් නැගී වර්ධනය වෙමින් පැවති ජන අරගලය හමුවේ පලා ගියේ ය. එහෙත් රනිල් ඔහුට වඩා අදිටන් සහගතව උපායශීලීව හා මර්දනයෙන් අරගලය පාගා දමන්නට ඇති සූදානම පෙන්නුම් කරයි.

විරෝධතාකරුවන් 2022 ජූලි 13 දින කතානායක නිල නිවසට හා පාර්ලිමේන්තුවට ඇතුල් වීමට දැරූ උත්සාහය මැඩලීම, ජූලි 22 අළුයම ජනාධිපති ලේකම් කාර්යාලයේ හා අවට පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන් මර්දනීය බලය යොදා ඉවත් කිරීම වැනි සිද්ධීන් මගින් පෙන්නුම් කරන්නේ එයයි.

  • අන්තර්වාර පාලනයේ අමාත්‍ය මණ්ඩලය 10 කට සීමා කරනු!
  • අමාත්‍ය මණ්ඩලයට අන්ත දූෂිතයන් පත් නොකරනු!
  • 19+ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනු (මෙ මගින් විධායක ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතල බොහොමයක් කප්පාදු කෙරේ)!
  • නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා බලය පැවරෙන (අදාළ වියතුන්, වෘත්තීය සමිති, ගොවි ධීවර ආදී බහුජන සංවිධාන නියෝජිතයින්, ජාතීන්ගේ නියෝජිතයින්, ස්ත්‍රී හා තරුණ නියෝජිතයින්, ජන අරගල නියෝජිතයින්, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් ආදීන්ගෙන් සමන් විත) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ස්ථාපිත කරනු!
  • වත්මන් ආර්ථික අර්බුදයෙන් බැට කන ජනයාට කඩිනම් සහන සලසන හදිසි ආර්ථික වැඩපිළිවෙලක් සම්පාදනය කිරීමට යෝග්‍යයන්ගෙන් යුත් මණ්ඩලයක් පත් කර එවන් වැඩපිළිවෙලක් ක්‍රියාවට නගනු!
  • අල්ලස් දූෂණ හා වංචා සම්බන්ධ දැඩි නීති හා ඒ සම්බන්ධ කිරීමේ පූර්ණ බලතල සහිත ආයතන පිහිටුවනු!
  • මාස 12 කින් පසු ජනතාවට තමන් කැමති පාලනයක් තෝරා පත්කර ගැනීමට මහ මැතිවරණයක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මගින් සම්පාදිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජන අනුමැතිය ලබා ගැන්ීම සඳහා ජනමත විචාරණයක් ද පවත්වනු!

ආදී වශයෙන්.

මේ වකවානුවේ ජන අරගලයේ මූලික සටන් පාඨය විය යුත්තේ “ මහජන සමූහාණ්ඩුවක්” යන්න ය. එය අප ඉල්ලන්නේ පාලකයන්ගෙන් නොවේ. පාලකයන්ට අප බල කර කියා සිටිය යුත්තේ එවන් මහජන සමූහාණ්ඩුවකට මග පාදා ගත හැකි එක් මගක් වන අන්තර්වාර පාලනයක් සඳහා ය.

මහජන සමූහාණ්ඩුවක් යන්න ජනතාවගේ කටයුත්තකි. එවැන්නක් සාධනය කර ගන්නට නම් අරගල ව්‍යාපාරය බිමේ සිට ජාතික මට්ටම දක්වා ගොඩ නැගෙන මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමට ප්‍රමුඛ අවධානයක් දිය යුතු ය. මහජන ව්‍යාපාරය යනු කිසියම් පක්ෂයක් හෝ කිහිපයක් විසින් ගොඩ නගනු ලබන්නක් නොවේ. පක්ෂවලට ඊට මැදිහත් වන්නට පුළුවන. සිය ශක්තිය ඊට එක් කරන්නට පුළුවන, එහෙත් එය ගොඩ නැගීමට පුරෝගාමී විය යුත්තේ අරගල ව්‍යාපාරය ය.

අරගලයේ යෙදී සිටින ජනයා ය. අරගලකරුවන් කතා කරන මහජන සභාවක් ගොඩ නැගිය හැක්කේ මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ මෙම ක්‍රියාදාමය තුළ ය.

මැතිවරණයක් මගින් ජනතාවට තමන්ගේ නියෝජිතයින් තෝරා ගැනීමට අවස්ථාව ලද විටක “මහජන සමූහාණ්ඩුවක්” යන සටන් පාඨය යටතේ මැතිවරණය සඳහා අරගල ව්‍යාපාරය (එනම් ගොඩ නැගෙන මහජන ව්‍යාපාරය) තුළ නියෝජනය වන හා විය යුතු සියලු පාර්ශව එක්සත් බලයක් බවට පත් කරන තමන්ගේම මැතිවරණ සන්ධානයක් ගොඩ නැගීමට ක්‍රියා කළ යුතු අතර එම සන්ධානය හරහා මැතිවරණයට සටන් වැදිය යුතු ය. ජන අරගලය වෙනුවෙන් පෙනී සිටින කවර පක්ෂයක්, සංවිධානයක් වුව මේ සන්ධානයට එක් විය යුතු ය. එක් කර ගත යුතු ය.

රනිල් පාලනය යටතේ අරගලයේ උපක්‍රම කෙසේ විය යුතු ද? ගෝල්ෆේස් වැනි කඳවුරුබැඳීම ආකාරයේ අරගල තවදුරටත් ප්‍රධාන අරගල මාධ්‍යය ලෙස ගත හැකිද යන්න සැලකිල්ලට ගත යුතු බව අපේ අදහස ය. එම අරගලය තුළ පැවතියේ විරෝධය ප්‍රබලව හා පුළුල්ව ප්‍රකාශයට පත් කිරීම පමණි. අරගල ව්‍යාපාරය ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් බවට පත් වීමට නම් ගොවි බිම්, ධීවර බිම්, වැඩබිම්, ආයතන ආදී විවිධ මට්ටම්වලින් දැනුවත් සංවිධිත ජන බල ඒකක වශයෙන් ගොඩ නැගීම අවශ්‍ය ය. ඒවා බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ජාල ක්‍රියාකාරිත්වයක් තුළට ගෙන ආ යුතු ය. අරගලය කතා කරන මහජන කවුන්සිලයක් යථා වශයෙන් ගොඩ නැගිය හැක්කේ එවන් ක්‍රියාදාමයක් තුළ පමණි.

ඉදිරි කාලය තුළ කඳවුරු බැඳීමේ අරගල වෙනුවට ජනතා විරෝධය හා කෝපය ප්‍රකාශ කිරීමේ ඒකාබද්ධ රැලි, පෙළපාලි ආදියට ප්‍රමුඛ අවධානයක් දීමට සිදු වනු ඇත. ඉකුත් ජන අරගලයේ ප්‍රධාන ප්‍රවේශය වූයේ උපායික ප්‍රහාරයේ (strategical offensive) එනම් ගෝඨා රෙජිමය පලවා හැරීම කේන්ද්‍රීය ඉලක්කය කර ගත් ප්‍රවේශයකි. අප කල්පනා කරන පරිදි දැන් අරගලයේ ප්‍රවේශය උපායික ප්‍රහාරය කේන්ද්‍රීය කරගත් ප්‍රවේශයක් නොව උපක්‍රමික ප්‍රහාරය (tactical offensive) කේන්ද්‍රකරගත් ප්‍රවේශයක් විය යුතු ය. එහි පවතින පාලනය පලවා හැරීම සඳහා වන අරමුණ තිබේ.

එහෙත් වහාම නොවේ. එය සාපේක්ෂ වශයෙන් දිගු කාලීන ය. එය හදිසිම (immediate) කාර්යය බවට පත් කරනු ඇත්තේ අරගලයේ වර්ධනය විසින් යනු අපගේ අදහස ය.

වසන්ත දිසානායක – විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය

The post ජන අරගලය -රනිල් ජනාධිපති වීමෙන් පසු..  appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%a2%e0%b6%b1-%e0%b6%85%e0%b6%bb%e0%b6%9c%e0%b6%bd%e0%b6%ba-%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%80/feed/ 0
කොවිඩ් 19 වසංගතය හා ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-19-%e0%b7%80%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%9a/ https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-19-%e0%b7%80%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%9a/#respond Sun, 05 Sep 2021 07:09:06 +0000 http://localhost/vivarana/?p=1497 කොවිඩ් 19 වසංගතය පිම්මේ වැඩෙයි. මේ වන විට දෛනික නිල ආසාදිතයන් ගණන 4,500 ඉක්මවා ඇත. මේ පීසීආර් පරීක්ෂණ කිරීම කලින් කළ පමණට වඩා 10,000කින් පමණ අඩු කර ඇති තත්ත්වයක් තුළ ය. පෙර මට්ටමට කළා නම් නිල සංඛ්‍යාව 7.000 ක් පමණ වනවා ඇත. එහි තේරුම හඳුනා නොගත් ආසාදිතයින් දහස් ගණනක් සමාජය තුළ වෙසෙන බව හා ඔවුන් […]

The post කොවිඩ් 19 වසංගතය හා ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය appeared first on විවරණ.

]]>
කොවිඩ් 19 වසංගතය පිම්මේ වැඩෙයි. මේ වන විට දෛනික නිල ආසාදිතයන් ගණන 4,500 ඉක්මවා ඇත. මේ පීසීආර් පරීක්ෂණ කිරීම කලින් කළ පමණට වඩා 10,000කින් පමණ අඩු කර ඇති තත්ත්වයක් තුළ ය. පෙර මට්ටමට කළා නම් නිල සංඛ්‍යාව 7.000 ක් පමණ වනවා ඇත. එහි තේරුම හඳුනා නොගත් ආසාදිතයින් දහස් ගණනක් සමාජය තුළ වෙසෙන බව හා ඔවුන් දිනපතා වෛරසය ව්‍යාප්ත කරමින් සිටින බව ය. නොනිල වාර්තා කියන්නේ සැබෑ ආසාදිතයන් ගණන එමෙන් තුන් ගුණයක් පමණ වන බව ය. එවිට මෙහි බරපතළ කම කොතෙක් ද යන්න අපට වටහා ගත හැකි ය. මේ වන විට දෛනික මරණ සාමාන්‍යය  200 ක් වී ඇත. ආසාදිත ගණනට අනුව ලෝකයේ 105-104 ස්ථානවල සිට අපි මේ වන විට 59 වන ස්ථානය කරා පැමිණ සිටින්නෙමු. මරණ අනුපාතය අතින් ගත් විට අපි ඉන්දියාව ද පසු කර වේගයෙන් ඉදිරියට යමින් සිටිමු. මේ වන විට ඉන්දියාවේ මරණ ගණන ජන සංඛ්‍යාවෙන් දශ ලක්ෂයට 315 ක් වන විට අපි 427 කරා පැමිණ සිටිමු. ලෝකයේ කොවිඩ් 19 මරණ අනුපාතය 2.07%වන විට අප  දැන ට 2.12% වශයෙන් එය පසුකර යමින් සිටිමු.

රෝහල්වල ධාරිතාව ඉක්මවමින් තිබේ. වෛද්‍ය, හෙද හා අනෙකුත් වෛද්‍ය සේවකයින් වසංගතයට ගොදුරු වීම ඉහළ යමින් තිබේ. ආසාදිත සෞඛ්‍ය සේවකයින් ගණන මේ වන විට 2,000 ඉක්මවා ඇති බවට වාර්තා වේ.  

ආණ්ඩුවට මුල සිටම වසංගතය මැඩලීමේ ඇත්ත උවමනාවක් තිබුණ බව පෙනෙන්නට තිබුණේ නැත. ඒ සම්බන්ධයෙන් එහි උපාය මාර්ගය වී තිබුණේ හා තවමත් වී තිබෙන්නේ එය සහමුලින්ම පිටු දැකීමට අවශ්‍ය පියවර ගන්නවා වෙනුවට එය යම් පාලනයක් යටතේ පවත්වා ගනිමින් තම පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා යොදා ගැනීම ය. එයට කොවිඩ් මැඩලනවාට වඩා  තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් දිනා ගැනීම, අත්තනෝමතික බලතල අඩුවකින් තොර ව යළි තහවුරු කර ගැනීම අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ආදිය සම්මත කර ගැනීම, තමන්ගේ සහ තම ගජ මිතුරන්ගේ මඩි තර කර ගැනීමේ මාර්ග ලෙස වරාය නගර ව්‍යාපෘතිය හා රටේ සම්පත් විදේශ ජාවාරම්කාරයින්ට විකුණා දැමීමේ ක්‍රියාවලිය අධිවේගී කිරීම, ආර්ථික සංවර්ධනයේ නාමයෙන් මහා ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකය තර කිරීමට අවශ්‍ය පියවර ගැනීම වැනි දෑ ප්‍රමුඛ වී තිබිණ.  කොවිඩ් මර්දනයට හිමි වූයේ ඒවාට දෙවෙනි තැනකි. දැනුදු ඒ පිළිවෙතේ වෙනසක් නැත.

2021_Sep_Wasantha_2

ඒ සීමිත කොවිඩ් මර්දන ක්‍රියාවලියේ දී ද සිදු වූයේ ප්‍රධාන කොටම සෞඛ්‍යයට අදාළ කාර්යයක් වූ එම  ක්‍රියාවලියේ සුක්කානම සෞඛ්‍ය අධිකාරයට පවරා ඒ සඳහා ආරක්ෂක අංශවල සහාය ලබා ගන්නවා වෙනුවට එය මිලිටරි කටයුත්තකැයි සිතා එහි වගකීම සෞඛ්‍ය අධිකාරියට ඉහළින් මිලිටරි අධිකාරියට පැවරීම ය. කොවිඩ් මැඩලීමේ ප්‍රධාන යාන්ත‍්‍රණය වශයෙන් පත් කරන ලද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබුවේ හමුදාපතිවරයා යි. වෛරස විද්‍යාඥයින් පැත්තක සිටිද්දී ඊට උගුර, කන්, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ හා ළමා ස්නායු වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය වැන්නන් මෙම බලකායට පත් කළ ජනාධිපතිවරයා ලංකාවේ වෛරස විද්‍යා විශේෂඥයින් වන මහාචාර්ය තිස්ස විතාරණ හා වෛරසවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක වන වෛද්‍ය සිරිමලී  ප්‍රනාන්දු වැනි අය පත් කළේ නැත. වාර්තා වන පරිදි ඒ වියත් මගට බැඳීමට කරන ලද ආරාධනය ඔවුන් ප්‍රතික්ෂේප කර තිබුණ නිසා ය. ආණ්ඩුව කොවිඩ් වසංගතය මැඩලීමට දෙන ලද අවධාරණය කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කළ ආකාරයෙන් ම අයෙකුට වටහා ගැනීම දුෂ්කර නොවේ. 

එමෙන්ම ආණ්ඩුව මෙම වසංගතය මැඩලීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය බරපතළ ලෙස අනතුරු හඟවමින් වළකාලීමේ ක්‍රියාමාර්ග ගැනීමට ඉහළම ප‍්‍රමුඛතාව දෙන්නැයි 2020 ජනවාරි ආරම්භයේ දී ම කළ ඉල්ලීම එතරම් සැලකිල්ලට ගත්තේ නැත. අපේ ජනාධිපතිවරයා මෙහි දී අනුගමන කළේ  හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බ‍්‍රසීල ජනාධිපති ජයිර් බොල්සනාරෝ අනුගමනය කළ පිළිවෙත ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ,

‘‘සමහර රටවල දේශපාලන කැපවීමේ මට්ටම හා එම කැපවීම පෙන්නුම් කරන ක්‍රියා අප සැම මුහුණ දෙන තර්ජනයේ මට්ටමට නොගැළපීම ගැන අපි කනස්සල්ලට පත්ව සිටිමු.’’යි කියා ය.

කොවිඩ් 19 වසංගතය මුළුමනින් ම සෞඛ්‍යය හා අදාළ ව පැන නැගුණකි. මෙහි දී ප‍්‍රමුඛවම කළ යුතු ව තිබුණේ වෛරසය රටට ඇතුළු විය හැකි මං අසුරා දමමින්  වසංගතය මැඩලීමට සෞඛ්‍ය සේවාව ඉහළින් ම බලමුළු ගැන්වීමට අවශ්‍ය පියවර ගැනීම ය. අනෙක් සියලු පියවර එයට, එහි අධීක්ණයට යටත් ය. එහෙත් ගෝඨාභය ආණ්ඩුව කොවිඩ් තර්ජනය හමුවේත් සෞඛ්‍යයට වෙන් කළේ කොවිඩ් වැනි තර්ජනයක් නො තිබුණ සමයේ ඉකුත් ආණ්ඩුව වෙන් කළ මුදලටත් වඩා අඩු මුදලකි. එම ආණ්ඩුව 2019 ට රුපියල් කෝටි 18,857 වෙන් කරන විට වත්මන් ආණ්ඩුව කොවිඩ් තර්ජනයට මුහුණ දිය යුතු ව තිබුණ  2021 වසර සඳහා වෙන් කළේ රුපියල් කෝටි 15,948 කි. එහෙත් ආණ්ඩුව 2021 සඳහා සෞඛ්‍යයට මෙන් දෙගුණයකටත් වැඩි මුදලක් රුපියල් කෝටි 35,019 ක් මාර්ග සංවර්ධනයට වෙන් කළේ ය. ආණ්ඩුවට කොවිඩ් මර්දනයට වඩා මාර්ග සංවර්ධනය ප්‍රමුඛ විය. 

රට වැසිය යුතු ව තිබූ නිසි අවස්ථාවල රට වැසුවේ නැත. කොවිඩ් මර්දනයේ නොසලකා නොහැරිය හැකි පිළියමක් වූ රට හෝ රටේ යම් යම් ප‍්‍රදේශ අගුලූ දැමීම කළ යුතු ම අවස්ථාවල දී පවා ආණ්ඩුව කළේ රට වැසුවොත් රට ආර්ථික වශයෙන් කඩා වැටෙනවා යයි කියමින් කල් මැරීම හා වෛරසය සැලකිය යුතු මට්ටමකින් ව්‍යාප්ත වූ පසු වදෙන් පොරෙන් අගුලූ දැමීමේ පියවර ගැනීම ය. රට වැසීමෙන් ආර්ථිකයට විශාල පහරක් එල්ලවන බව ඇත්ත ය. එහෙත් අවශ්‍ය විට රට නොවසා කොවිඩ් වසංගතය පැතිරෙන්නට හැරීම ආර්ථිකයට එල්ල කරන්නේ ඊටත් වඩා බරපතළ ප්‍රහාරයක් ය යන්න තේරුම් ගන්නට දුර දක්නා නුවණක්වත්, උවමනාවක්වත් ජනාධිපතිවරයාට තිබුණ බවක් පෙනෙන්නට නැත. ඔහු ජනතාවට කියන්නේ රට වහන්නම් හැබැයි කැප කරන්නට සූදානම් වන්න කියා ය.  කොවිඩ් මැඩලීම සඳහා රට සති දෙකකට තුනකට වැසීමෙන් රටක් බංකොලොත් වනවා නම් එයට වගකිව යුත්තේ ජනතාව නොව ගෝඨාභය ද ඇතුළු මෙතෙක් රට පාලනය කළ හා කරන පාලකයන්ම ය. මන්ද ආර්ථිකය අර්බුදයට හෙලූවේ ඔවුන් නිසා හා වසංගතය මේ සා මට්ටමකට වර්ධනය වන්න ඉඩ හැරියේ වත්මන් පාලකයන් නිසා ය. 

වෛද්‍ය විශේෂඥවරුන් ඇතුළු බොහෝ දෙනා නිශ්චිත හේතු සාධක පෙන්වා දෙමින් සති දෙක තුනකටවත් රට වසන්නැයි බල කර ඉල්ලා සිටියත් එය ගණනකට ගත්තේ ආණ්ඩුව නොවේ. ආණ්ඩුවේ ප‍්‍රවේශය වූයේ කොවිඩ් පැතිරුණත් එන්නත්කරණය හරහා එය පාලනය කර ගත හැකි යයි යන්න ය.   දැන් ඇති තරම් එන්නත් ලැබෙමින් තිබෙන බවත් එන්නත්කරණයෙන් වසංගතය පාලනය කළ හැකිවන බවත් ආණ්ඩුව කියා සිටියේ ය. එන්නත්කරණය අවශ්‍ය නමුත් එයම වසංගතය මැඩලීමට ප‍්‍රමාණවත් නොවන බවත් අද පිළිගත් කාරණයකි.

වෛද්‍ය සංගම්, වෘත්තීය සමිති, විවිධ සමාජ සංවිධාන, ආගමික නායකයින් හා ආණ්ඩුවේම ඇතැම් පාර්ශව සති දෙක තුනකටවත් රට වහන්නැයි ඉල්ලා සිටියා වූ ද වෘත්තීය සමිති ආණ්ඩුව රට වහන්නේ නැති නම් තමන් ස්වයං අගුළු දමා ගැනීමේ ක්‍රියාකාරිත්වයක් කරා යන බවට දැඩිව අනතුරු හඟවමින් සිටියා වූ ද අවසානයේ විවිධ ප්‍රදේශවල වෙළෙඳ සංගම් ස්වෙච්ඡාවෙන් වෙළෙඳ හල් වසා දමන්නට පටන් ගත්තා වූ ද තත්ත්වයක් තුළ ආණ්ඩුවට රට නො වසා සිටින්නට නො හැකි තත්ත්වයක් ඇති විය. අන්තිමට ජනාධිපතිවරයාට ඉතා ම නො කැමැත්තෙන් රට අගුළු දැමීමකට යාමට සිදු විය. එහෙත් ආණ්ඩුව යටත් පිරිසෙයින් පවතින තත්ත්වය යටතේ රට වසන්නට සිදු වන බව හෝ ඒ සඳහා සූදානම් වන ලෙස ජනතාව දැනුවත් කිරීමක් කළේ නැත. ඒ වෙනුවට කළේ රට වැසීමෙන් පලක් නැති බව හා එයින් රට තවත් අර්බුදයට යන බව කියා පෑම ය.

ආණ්ඩුව මෙම වසංගතය හමුවේ සිය වගකීම පැහැර හැර තිබේ. එපමණක් නොවේ. එය උපයෝගී කර ගනිමින් රටේ සම්පත් චීන, ඉන්දියානු හා ඇමෙරිකානු ආදී ජාවාරම්කාර සමාගම්වලට ද ගජ මිතුරු ව්‍යාපාරිකයන්ට ද කුණු කොල්ලයට පවරා දෙමින් තිබේ. විශේෂයෙන්ම එය දඩමීමා කර ගනිමින්  විරුද්ධ පාර්ශවීය හා ජනතා ක්‍රියාකාරිත්වයන් මැඩලීමට කටයුතු කරමින් තිබේ. කතා කිරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අමු අමුවේ පැහැර ගනිමින් තිබේ. ආණ්ඩුවේ දූෂණ” වංචා හා කෙරුවා වන් ගැන කතා කරන්නවුන් පසුපස රහස් පොලිසිය හා පොලිස් ඔත්තුකරුවන් ලූහු බඳවමින් තිබේ. පසෙකින් කොවිඩ් වසංගත මාරයා ය. පසෙකින් ආර්ථික අර්බුද රාක්ෂයා ය. තවත් පැත්තක ආණ්ඩුවේ මර්දනීය හස්තය ය. මෙවන් තත්ත්වයක් තුළ ආණ්ඩුව ජනතාව ඇද දමා ඇත්තේ අර මරණ තුනත් ඇති පැණි කෑ මිනිසාගේ තත්ත්වයකට ය. 

මේ තත්ත්වය හමුවේ රටේ වාම, ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රීය යන සියලූ පාර්ශවයන්ගේ කාර්යය විය යුත්තේ මෙම ත්‍රිවිධ සතුරන්ට එරෙහිව එක පෙළකට සිට ගැනීම ය. එක පෙළට සිට ගනිමින් නැගී සිටීම ය.

The post කොවිඩ් 19 වසංගතය හා ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය appeared first on විවරණ.

]]>
https://vivaranalk.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-19-%e0%b7%80%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%9a/feed/ 0